Study UK Alumni සම්මාන උළෙලේ ශ්‍රී ලාංකික ජයග්‍රාහකයෝ නම්කෙරෙති

එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ශ්‍රී ලාංකික ආදි විද්‍යාර්ථීන්ගේ දක්ෂතා ඇගයේ

‘Study UK Alumni Awards 2023-24’ වැඩසටහනේ ශ්‍රී ලංකා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නිවේදනය කිරීම පසුගියදා කොළඹ British Council මගින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ආදි විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

විනිශ්චය මණ්ඩලය විසින් විද්‍යාව හා තිරසාරත්වය, සංස්කෘතිය හා නිර්මාණශීලීත්වය, සමාජ ක්‍රියාකාරකම් සහ ව්‍යාපාර හා නවෝත්පාදන යන අංශ යටතේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරාගන්නා ලදි. ව්‍යාපාරික වෘත්තිකයන්, ව්‍යවසායකයින් සහ ප්‍රජා නායකයින් ලෙස ඔවුන් අත්කරගත් විශිෂ්ට ජයග්‍රහණ  වෙනුවෙන් මෙන්ම එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා ලබාදුන් දායකත්වය වෙනුවෙන් මෙම සම්මානලාභීහු ඇගයීමට ලක් වූහ. ඔවුන් වෙත සම්මාන පිරිනමන ලද්දේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් විසිනි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා මෙසේ අදහස් දැක්වී ය. “UK Alumni Awards යනු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ආදි විද්‍යාර්ථීන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කරන සම්මාන උළෙලක්.  මෙහිදී ඔවුන්ගේ අතිවිශිෂ්ට හැකියාවන්, උද්‍යෝගය සහ විශිෂ්ටත්වය සඳහා ඔවුන් තුළ ඇති කැපවීම ඇගයීමට ලක්වෙනවා. එමෙන්ම මෙම වසරේ සම්මාන උළෙලේ අවසන් වටයට පැමිණි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දෙස බලන විට එම ආදි විද්‍යාර්ථීන්ගේ විවිධත්වය, තමන් තෝරාගත් විෂය ක්ෂේත්‍රවල ඔවුන් පෙන්නුම් කර ඇති විශිෂ්ටත්වය මෙන්ම, එක්සත් රාජධානියේ අධ්‍යාපනය මගින් සිදුවන පරිවර්තනීය බලපෑම අපට හොඳින් පැහැදිලි වනවා.”

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් මහතා මෙසේ සිය අදහස් පළකළේ ය. “අද දවසේ අප, එක්සත් රාජධානියේ අධ්‍යාපනය තුළින් ලබාගත් කුසලතා, දැනුම සහ අත්දැකීම් ඔස්සේ තමන් අවට ලෝකයට යහපත් බලපෑමක් ඇති කරන විශිෂ්ටයන් පිරිසකගේ ජයග්‍රහණ සමරනවා. මෙම සම්මාන උළෙල, එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ශ්‍රී ලාංකික ආදී විද්‍යාර්ථීන්ගේ කුසලතා හා උත්සාහයන් සහ එක්සත් රාජධානියේ අධ්‍යාපනය මගින් ඇති කළ හැකි පරිවර්තනීය බලපෑම මෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත නායකයින් වීමට නියමිත පිරිසකගේ ආදර්ශමත් සාර්ථකත්වයන් සමරන සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්.”

මෙම ජාත්‍යන්තර සම්මාන උළෙල ලොව පුරා විසිරී සිටින එක්සත් රාජධානියේ ආදි විද්‍යාර්ථීන්ගේ සාර්ථකත්වය ඇගයීමට ලක්කරන අතරම එරට උසස් අධ්‍යාපනයේ විශිෂ්ටත්වය ලොවට පෙන්වා දෙයි. මේ වනවිට වසර 10 ක් පුරා මෙම සම්මාන උළෙල පවත්වා ඇති අතර, රටවල් 100 කට අධික සංඛ්‍යාවක වෙසෙන, එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ආයතන 140 කට අධික සංඛ්‍යාවක ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථීන් 1,450 කට අධික පිරිසක් මෙම සම්මාන හිමිකරගෙන තිබේ.

UK Alumni Awards 2023-24 හිදී සම්මාන හිමිකරගත් ශ්‍රී ලාංකිකයන්

ව්‍යාපාර හා නවෝත්පාදන: ලිශිනි තිලකරත්න (University of Westminster සහ Canterbury Christ Church University)

විද්‍යාව හා තිරසාරත්වය: වෛද්‍ය මොහොමඩ් රිශාර්ඩ් මොහොමඩ් රියාල්, (University of Dundee)

සමාජ ක්‍රියාකාරකම්: පූර්ණිමා මීගම්මන (Northumbria University Newcastle සහ De Montfort University)

සංස්කෘතිය හා නිර්මාණශීලීත්වය: ලංකා බණ්ඩාරනායක (Bournemouth University)

UK Alumni Awards 2023-24 හි අවසන් වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකිකයන්

ව්‍යාපාර හා නවෝත්පාදන: ලිශිනි තිලකරත්න, අමීර් සාලි, සුශාන් පීරිස්

විද්‍යාව හා තිරසාරත්වය: වෛද්‍ය මොහොමඩ් රිශාර්ඩ් මොහොමඩ් රියාල්, වෛද්‍ය දොලුවීර සචිත් මෙත්තානන්ද, වෛද්‍ය ඉරේෂා අත්තනායක

සංස්කෘතිය හා නිර්මාණශීලීත්වය: ලංකා බණ්ඩාරනායක, එරන්ද ඇහැලේපොළ, වෛද්‍ය අයේෂා වික්‍රමසිංහ

සමාජ ක්‍රියාකාරකම්: පූර්ණිමා මීගම්මනය, වෛද්‍ය මධුර තිවංක පතිරණ, වෛද්‍ය පනංගලගේ දෝන හේමමාලි ඩයස් ගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *