British Council 2024-25 කාලසීමාව සඳහා ‘Women in STEM Scholarships’ ශිෂ්‍යත්ව වැඩසටහන දියත් කරයි

  • STEM විෂයන් සම්බන්ධයෙන් ගෝලීය සුදුසකම් හිමිකර ගැනීමට අපේක්ෂා කරන උපාධිධාරිනියන් වෙනුවෙන් British Council සහ බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක්
  • නවෝත්පාදනය සහ ගෝලීය සහයෝගීතාව ඔස්සේ STEM අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය තුළ පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාවන් අවම කිරීමේ වෑයමක්

එක්සත් රාජධානියේ අධ්‍යාපන අවස්ථා සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය වන British Council, එරට විශ්ව විද්‍යාල සමග අත්වැල් බැඳගෙන ‘British Council Scholarships for Women in STEM’ නමින් ශිෂ්‍යත්ව වැඩසටහනක් දියත් කර තිබේ. එක්සත් රාජධානියේදී පශ්චාත් උපාධිය හැදෑරීමට බලාපොරොත්තු වන විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත (STEM) උපාධිධාරිනියන් ඉලක්ක කරගෙන මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.

STEM ක්ෂේත්‍රයන් තුළ විවිධත්වය මෙන්ම විවිධාකාර දෘෂ්ටිකෝණයන් සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීමට නම් එම ක්ෂේත්‍රයන් තුළ කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය ය. එමගින් ස්ත්‍රී පුරුෂ අසමානතාවන් අවම වන අතරම ශ්‍රම බලකායට සුවිශේෂී කුසලතාවන් පෙළක් එක්වීමද සිදු වේ. මේ සියල්ල විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි දියුණුව ඔස්සේ සමාජයේ පොදු යහපතට බලපාන සාධක ලෙස හැඳින්විය හැක. ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් Global Gender Gap Report 2023 යන නමින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව තුළ දක්වා ඇති ආකාරයට, 2023 වසරේදී මෙම සංස්කරණයට ඇතුළත් රටවල් 146 ට අදාළ ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර අගය 68.4% ක් වූ අතර එය ඊට පෙර වසරට සාපේක්ෂව 0.3% ක ප්‍රගතියකි.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සහ අනෙකුත් දකුණු ආසියානු රටවල STEM උපාධිධාරිනියන් සඳහා ශිෂ්‍යත්ව 25 ක් වෙන්කර ඇත. ඔවුන්ට Queen Mary University of London, Anglia Ruskin University, Greenwich University, The University of Southampton සහ Coventry University යන විශ්ව විද්‍යාල අතරින් එක් විශ්ව විද්‍යාලයක තම පශ්චාත් උපාධිය හැදෑරීමට අවස්ථාව ලැබේ. මෙම ශිෂ්‍යත්ව මගින් ඔවුන්ට STEM ක්ෂේත්‍රයන් තුළ වෘත්තීය වශයෙන් ඉහළට ගමන් කිරීමටත්, එක්සත් රාජධානියේ STEM විෂය ක්ෂේත්‍රයන් තුළදී ලබාගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ තම රටවල් තුළ පර්යේෂණ සහ නවෝත්පාදන සිදුකිරීමටත් හැකියාව ලැබෙනු ඇත. එක්සත් රාජධානිය මේ වනවිට ලොව උපුටා දැක්විය හැකි පර්යේෂණ සම්බන්ධයෙන් තුන්වැනි ස්ථානයේ පසුවන අතර, එක්සත් රාජධානියේ ප්‍රකාශන අතරින් 55.2% ක්ම ජාත්‍යන්තර පර්යේෂණ හවුල්කාරීත්වයන්ගේ ප්‍රතිඵල ලෙස සැලකේ.

අධ්‍යාපන ගාස්තු, දීමනා, ගමන් වියදම්, වීසා ගාස්තු, සෞඛ්‍ය සේවා ගාස්තු සහ ඉංග්‍රීසි භාෂා සහාය යනාදිය මෙම ශිෂ්‍යත්ව මගින් ආවරණය කරනු ලබයි. මෙම ශිෂ්‍යත්වලාභීන්ට දත්ත විද්‍යාව, පරිගණක විද්‍යාව, ඖෂධ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු විද්‍යාව, යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ඉංජිනේරු කළමනාකරණය, සිවිල් ඉංජිනේරු කළමනාකරණය, සුහුරු සෞඛ්‍ය සේවාව සහ ආයුගණක විද්‍යාව යනාදී ක්ෂේත්‍රවල පාඨමාලා හැදෑරීමට හැකි වනු ඇත.

“ලෝක ජනගහනයෙන් අඩකට වඩා සිටින්නේ කාන්තාවන්. එම නිසා ගෝලීය අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දීමට අපට හැකි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් කාන්තාවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. විද්‍යා හා පර්යේෂණ කටයුතුවලදී අපට කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ පූර්ණ දායකත්වය අවශ්‍යයි. ස්ත්‍රී පුරුෂ සමානත්වය හුදෙක් සංකල්පයක් පමණක් විය යුතු නැහැ. එය තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරමින් මානව ප්‍රගතිය සාක්ෂාත් කරගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. Women in STEM Scholarships වැනි වැඩසටහන් තුළින් අප උත්සාහ කරන්නේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ගැහැනු දරුවන් සවිබල ගන්වමින්, ඔවුන්ට සමාජයේ කටයුතුවලට සක්‍රීයව දායක වීමට සහ තම හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අත්වැලක් වීමටයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ STEM ක්ෂේත්‍රයන්හි කාන්තාවන් වැඩි වැඩියෙන් ගෝලීය ශ්‍රම බලකායට දායක වනු දැකගැනීමට අප මහත් කැමැත්තෙන් සිටිනවා.” ශ්‍රී ලංකාවේ British Council හි අධ්‍යක්ෂ ඕලන්ඩෝ එඩ්වඩ්ස් මහතා පැවසී ය.

2020 වසරේ සිට මේ දක්වා මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 300 කට අධික සංඛ්‍යාවක් පිරිනමා තිබේ. 2023-24 කාලසීමාවේදී ශිෂ්‍යත්වලාභීන් 92 දෙනෙක් තමන් තෝරාගත් පාඨමාලා සඳහා ලියාපදිංචි වූ අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් දෙදෙනෙකු ශිෂ්‍යත්ව ලබා එක්සත් රාජධානියේ පශ්චාත් උපාධි පාඨමාලාවන්ට ඇතුළත් වූහ. මෙය කාන්තාවන්ට ගෝලීයකරණය වූ ලෝකයක් තුළ සාර්ථක වීම සඳහා අවස්ථාවන් උදාකර දෙමින් ඔවුන්ට STEM ක්ෂේත්‍රයන් තුළ ජාත්‍යන්තර සුදුසුකම් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා British Council දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි.

කාන්තාවන්ට නායකත්ව තනතුරු කරා උසස් වීමට අත්වැලක් වෙමින් සහ ඔවුන්ට තම කලාපය තුළත් එක්සත් රාජධානිය තුළත් සම-වෘත්තිකයන් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, අඛණ්ඩව STEM ක්ෂේත්‍රයන් තුළ රැඳී සිටීමට ඔවුන් දිරිගැන්වීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනේ අරමුණ වී ඇත. එමෙන්ම යැපෙන්නන් සහිත කාන්තාවන්ටද මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන්ට අමතර සහයක්ද හිමි වනු ඇත. විශ්ව විද්‍යාලය අනුව අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනයන් වෙනස් වන අතර, සාමාන්‍යයෙන් 2024 මාර්තු සහ අප්‍රේල් අතර කාලසීමාව තුළ අයදුම්පත් භාරගැනීම අවසන් වනු ඇත.

සුදුසුකම් ලැබීමේ ක්‍රියාපටිපාටිය, වැඩසටහනට සමග සම්බන්ධ වී සිටින විශ්ව විද්‍යාල, හැදෑරිය හැකි පාඨමාලා සහ විශ්ව විද්‍යාලය අනුව අයදුම්පත් භාරගැනීම අවසන් වන දිනයන් ආදිය සම්බන්ධ වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://www.britishcouncil.lk/study-uk/scholarships-and-funding/british-council-scholarships-women-stem

Leave a Reply

Your email address will not be published. Required fields are marked *