සහල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩු කිරීම නිසා ගොවීන්ට කිසිදු හානියක් නැහැ.. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි…

ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් සහ බී ලූණු ( රෝස ලූණු ) සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අඩුකිරීමට කටයුතු කළද , ඒ හේතුවෙන් වී ගොවීන්ට ඉන් කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඉන්දියාව ලොකු ලූණු අපනයනය නතර කිරීම නිසා ඒවායේ මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවත් , ඒ අනුව ලොකු ලූණු වලට වඩාත්ම සුදුසු ආදේශකයක් වන රෝස ලූණු සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 80 ක බද්ධ ඒ අනුව රුපියල් 10 දක්වා අඩු කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.
එසේම ආනයනික සහල් සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 65 ක්වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ද රුපියල දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ කීරී සම්බා මිල සීඝ්‍රයෙන් ඉහල යාම හේතුවෙන් ජනවාරි මාසයේදී කීරි සම්බා ආනයනය කිරීමට කෙටි කලකට අවසර දුන් බවයි. එම වකවානුව තුළ නැව් ගත කළ සහල් තොගයෙන් කොටසක් පමා වී මෙරටට පැමිණිම නිසා එම තොගය වරායේ සිර වී ඇති බවත්, එම සිරවී ඇති තොගය නිදහස් කර ගැනීම සඳහා පමණක් සතියක කාලයක් සඳහා සහල්වලට මෙම සහනය බලපැවැත්වෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *