ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නෙත්මිකා මධුශානි රිදී පදක්කමක් දිනයි

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී තුන් පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට නෙත්මිකා මධුශානි හේරත් සමත් වූවාය. ඇය මේ තරගාවලියේ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ පළමු පදක්කම සටහන් කරමින් කීර්තිය ගෙනදීමට සමත් වූවාය.

මොනරාගල බිබිල නන්නපුරාව විද්‍යාලය නියෝජනය කරන නෙත්මිකා විසින් කාන්තා තුන් පිම්ම ඉසව්ව මීටර් 13.01ක දක්ෂතාවකින් රිදී පදක්කම දිනාගත් අතර, එය ඇයගේ හොඳම පෞද්ගලික දක්ෂතාව වූවාය. මීටර් 13.33ක දුරකින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට උස්බෙකිස්තාන ක්‍රීඩිකාව හා ලෝකඩ පදක්කම මීටර් 12.67කින් කොරියානු ක්‍රීඩිකාව දිනා ගත්හ.

මීටර් 100 අවසන් පූර්ව වටයේ තරගයට ඊයේ රාත්‍රියේ සහභාගි වූ කොළඹ ආනන්ද විදුහලේ මෙරෝන් විජේසිංහ තත්පර 10.59කින් 5 වැනි ස්ථානයට පත් වූවේය. ඔහු මේ ඉසව්වේ මූලික වටයේ තරගයේදී තත්පර 10.81ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

මේ අතර ඊයේ උදෑසන පැවැති පිරිමි මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව මිනිත්තු 3:28.41කින් නිමකළ ශ්‍රී ලංකා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එහි අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9.40ට පැවැත්වීමට නියමිතය.

කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටය නියෝජනය කළ තරුෂි අභිෂේකා මිනිත්තු 2:10.46කින් එම තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තාය. එම අවසන් තරගය අද රාත්‍රී 8.10ට පැවැත්වීමට නියමිතය. පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයට සහභාගි වූ අයෝමාල් අකලංක තත්පර 52.96ක කාලයකින් දෙවැනි ස්ථානය හිමිකර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *