ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක මට්ටමේ නිලධාරීන් සඳහා ජපාන රජයෙන් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව

ජපාන රජය විසින්, මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන (JDS) යටතේ 2010 සහ 2017 වසරේ සිට පිළිවෙළින් ශාස්ත්‍රපති උපාධි සහ ආචාර්ය උපාධි හැදෑරීමේ අවස්ථා ශ්‍රී ලංකාවේ විධායක මට්ටමේ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට, ප්‍රදාන පදනමක් මත ලබා දෙන ලදි.

ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010-2013), දෙවන කාර්යරාමුව (2014-2017) සහ තුන්වන කාර්යරාමුව (2018-2021) පිළිවෙළින් 2013, 2017 හා 2021 වසරවලදී සාර්ථකව අවසන් කරන ලදි. හතර වන කාර්යරාමුව (2022-2025), 2022 වසරේදී ආරම්භ කරන ලද අතර 2025 වසරේදී අවසන් කරනු ලැබේ. තවද මෙම වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරන ලද ශිෂ්‍යත්වලාභින්ගේ වෘත්තීයමය සංවර්ධනය තවදුරටත් සිදුකිරීමේ අවශ්‍යතාවය සලකා බැලීමෙන් අනතුරුව ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළකර ඇත. ඒ අනුව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 225 ක් (වසරකට 15 බැගින්) හා ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 17 ක් ලබා දී ඇත.

ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා ජපන් යෙන් මිලියන 304 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 578) ක ප්‍රදානයන් ලබා ගැනීම වෙනුවෙන් දෙරට අතර හුවමාරු පත්‍ර 2024 ජූලි 03 වන දින ජපානයේ ගරු කමිකාව යෝකෝ (Kamikawa Yoko) විදේශ කටයුතු අමාත්‍යවරයා හා ශ්‍රී ලංකාවේ ගරු එම්. යූ. එම්. අලි සබ්රි විදේශ කටයුතු අමාත්‍යවරයා අතර, ජපානයේ ටෝකියෝ නගරයේ දී අත්සන් කරන ලදී. ඉහත ප්‍රදානය ලබාගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ එම් මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජය වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා මහතා (YAMADA Tetsuya) ඊට අදාල ගිවිසුම් සම්බන්ධ ලියකියවිලිවලට අත්සන් තබන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *