2024 වසරේ පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 129ක ණය මුදලක් රජය ගෙවා දැමීමට සමත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එම කාලය තුළ රජය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිලපත් මගින් ලබා ගත් සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 4852කි. එම කාලය තුළ ගෙවා දමා ඇති ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 4981ක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. සියලු පාර්ශ්ව විමසා සිටින්නේ ණය ලබා ගැනීම පිළිබඳ සංඛ්‍යා ලේඛන පමණක් වුව ද ණය ගෙවා දැමීම ද රජය නිසි පරිදි සිදු කරමින් පවතින බව සේමසිංහ මහතා අවධාරණය කරයි.
ආර්ථික අර්බුදයට පෙර අවශ්‍ය පරිදි මහ බැංකුව මගින් මුදල් මුද්‍රණය කර ගැනීමේ පහසුකම රජයට පැවති අතර 70% තරම් ඉහළ උද්ධමන අගයක් කරා රට ගමන් කිරීම එහි ප්‍රතිඵලයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එහෙත් නව මහ බැංකු පනත සම්මත කරමින් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රජය ද සාමාන්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යන ආකාරයට ණය ගැනීම සහ ණය ගෙවීම සිදු කළ යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.