අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම ගැටළුවක් නොවේ…. මුදල් අමාත්‍යාංශය ජනාධිපතිවරණයට මුදල් වියදම් කිරීමට විශාල සූදානමකින් පසුවෙනවා .. අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම ගැටළුවක් නොවන බවත් , ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ඇස්තමේන්තු සඳහා මුදල් වියදම් කිරීමට විශාල සූදානමකින් පසුවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අද දහවල් යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තවමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් නොමැති බවයි .
යම් හෙයකින් ජන්ද පත්‍රිකාවට ඔරොත්තු නොදෙන තරම් අපේක්ෂක සංඛ්‍යාව දික් වුවහොත් පත්‍රිකාව තවත් පිටුවකින් දීර්ඝ කිරීමට සිදුවන බවත් , එසේම ඡන්ද පෙට්ටි සංඛ්‍යාව වැඩි වීම වැනි හේතු නිසා එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් මිලියන 100 ක පමණ වැඩිපුර වියමක් දැරීමට සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා , කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ ඇස්තමේන්තු සඳහා මුදල් ලබාදීමට පූර්ව සූදානමකින් පසුවන බව සඳහන් කළා.
එමෙන්ම මැතිවරණය සඳහා වෙන්කළ රුපියල් බිලියන 10 ක මුදලින් මෙතෙක් ලබාදුන් ඇස්තමේන්තු වලට මුදල් වෙන් කිරීමෙන් පසු තවත් මුදලක් ඉතිරිව ඇති බවත්, එසේම මුද්‍රණ වියදම් , ආරක්ෂක වියදම් , ප්‍රවාහන වියදම් ආදිය හැරැණු කොට, නිලධාරී දීමනා ආදී සමහර වියදම් වහාම වියදම් කිරීමට අවශ්‍ය නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව එම වියදම් වාර්තා ලබාදුන් පසු ඒ්වාට මුදල් ලබාදීම සිදුකරන බැවින් මුදල් අමාත්‍යාංශය මැතිවරණය සඳහා මුදල් ලබාදීමේදී ඒ් සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් අමාත්‍යවරයා එහිදී පවසා සිටියා.
මෙහිදී සමහර අපේක්ෂකයන් මෙම ජනාධිපතිවරණය තමන් ජයග්‍රහණය කළ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අයවැය ලේඛණයෙන් මුදල් වෙන් කර ඇති බවයි.
කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බැවින් එවන් ගැටළුවක් ඇති නොවන බවද සියඹලාපිටිය මහතා ඒහිදී පවසා සිටියා.
මත්පැන් මිල අඩු කරන ලෙස විවිධ පාර්ශව වලින් ඉල්ලීම් ලැබී ඇතත් රාජ්‍ය ආදායම සමඟ කටයුතු කිරීමේදී මත්පැන් සහ දුම්වැටි වල බදු අනුපාතය යම් නිශ්චිත අනුපාතය රඳවා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ආදී ආයතන සමඟ බැදී සිටින බැවින්, හැම දෙයකම මිල අඩුකිරීමට කැමති වුවද ඉදිරියේදී ඒ් ගැන සලකා බලමු යැයි අමාත්‍යවරයා ඒහිදී පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *