• ඊළඟට පත්වෙන ආණ්ඩුව සියලු දේශපාලන පක්ෂවල එකමුතුවෙන් සැදෙන ජාතික ආණ්ඩුවක් වෙන්න ඕනෑ….
• ජාතික ජන බලවේගය නමින් සළුවක් පොරෝගත් මේ අශුද්ධ සන්ධානය පරාජයට පත් කරන්න ඕනෙමයි
• නිදහසින් පස්සේ බිහිවුණු කිසිම ආණ්ඩුවක් වැඩකරේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ…
• එක පැත්තකින් ආණ්ඩු පිහිටවන්නත්, අනෙක් පැත්තෙන් ආණ්ඩුවට බාධා කරන විනාශකාරී දේ සිද්ධකරන එක මේ අයගේ පුරුද්දක්…..
• තනතුරු පසුව බෙදාගන්න පුළුවන්. රට ආරක්ෂා කරගන්න එක්වෙන්න. මෙතන විශාල අනතුරක් තියෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ” සමගි ජන බලවේගය කියලා වෙනත් සළුවක් පොරවාගෙන ඉදිරියට ඇවිත් ගෙවුණු 75 වසරක් තුළ මෙරට ආණ්ඩු කරපු කිසිම නායකයෙක් රටට කරපු දෙයක් නැහැයි සමාජගත කිරීමේ උත්සහයක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
තමන්ගේ දේපල පවා පරිත්‍යාග කරමින් ජනතා සේවයේ යෙදුණු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආදිය රටට දායාද කළ අතීත නායකයින්ට මේ ප්‍රකාශ නිසා අපහාස සිදුවන බව ද ඒ මහතා පැවසුවේ අද (2024.09.06) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා
ජනාධිපතිවරණයට තියෙන්නේ දින 15යි. අපි තෝරාගත්තේ පහුගිය කාලේ තිබුණ අර්බුදයෙන් රට මුදවා ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තේ අනිත් අපේක්ෂකයින්ට වඩා පහුවෙලා. ඒත් අද වෙනකොට කෙමෙන් එකුමාගේ ජනප්‍රියභාවය වැඩි වෙනවා. අපේ බලාපොරොත්තුව ජනාධිපතිතුමා පිළිබඳ සමස්ත ජනතාවගේ තිබෙන මතය ඡන්ද පෙට්ටියට ගෙනත් එතුමාව ඡන්දෙන් ජයග්‍රහණය කරවලා මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමයි.
මගේ දිස්ත්‍රික්කය අද වෙනකොට ජයග්‍රහණයේ මාවතට ඇවිත්. සමහර වෙලාවට ජයග්‍රහණයේ කකුලෙන් අදිනවා වගේ එකක් පේනවා. ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ගොඩනැගෙන අශුද්ධ සන්ධානයක් තියෙනවා. ඒ අශුද්ධ සන්ධානය පරාජය කරන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෙනියන වැඩපිළවෙලේ කකුලෙන් අදින්න එපා. ඒ වැඩපිළිවෙළ ශක්තිමත් වෙන්න ඕනෙ. මෙවැනි වෙලාවක අඩුපාඩු සිද්ධ වෙනවා නම් ඒක කණගාටුදායක කරුණක්.
අනෙක් අපේක්ෂකයන් ගැන ජනාධිපතිතුමා කතා කරන්න ඕනේ නැහැ. සමස්ත මහජනතාව අනෙක් අපේක්ෂකයන් ගැන දන්නවා. එක පැත්තකින් මේ අශුද්ධ සන්ධානය පරාජය කරන්න ඕනේ. මේ කණ්ඩායම් දෙක සජිත් පේමදාස මහත්තයාට සහ ජනාධිපතිතුමාට උදව් කරන කණ්ඩායම් දෙක එකතු වෙන්න කියලා මම කිව්වා.ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පරාජයට පත්වුනා. ඒත් අද ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය කියලා වෙනත් සළුවක් පොරවාගෙන ඉදිරියට ඇවිත් තියෙනවා. මොවුන් ඉතිහාසයේ මේ රටේ ආණ්ඩු කරපු කිසිම නායකයෙක් ගෙවුණු වසර 75 කා කාලය තුළ රටට කරපු දෙයක් නැහැ කියලා මේ රටේ ජනතාවගේ ඔලුවට දාලා.
වසර හැත්තෑ පහක් ආණ්ඩු කරපු සියලු දෙනා රට විනාශකාරී තැනකට රට ගෙන ගියා කියලා ඔවුන් ඒත්තු ගන්වනවා. අපේ රටේ සමහර දේශපාලනඥයෝ හිටියා ඔවුන්ගේ සියලු දේපළ ජනතාව වෙනුවෙන් කැපකළා. අන්තිමට කිසිම දෙයක් නැතිව අවසන් ගමන් ගියා. නිදහස් අධ්‍යාාපනය, නිදහස් සෞඛ්‍ය දිනාදුන්නා. ඇයි ඒ මිනිස්සුන්ට මෙහෙම අපහාස කරන්නේ. 1970 පීටර් කේනමන්, කොල්වින් ආර්. ද සිල්වා, එන්. එම්. පෙරේරා වගේ නායකයෝ සිරිමාව බණ්ඩාරනායක එක්ක එකතු වෙලා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටෙව්වා. ඒ වුණාට අවුරුද්දක් ඇතුළත කැරැල්ලක් මෙහෙයෙව්වා. මෑත කාලයේ හදන හැම ආණ්ඩුවකම ඔවුන්ගේ කාර්යය භාරයක් තිබුණා. 2015 මෛත්‍රී ආණ්ඩුව පිහිටුවන්න ඔවුන් දැවැන්ත සහයෝගයක් දුන්නා. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උදව් කළා. චන්ද්‍රිකා බණ්ඩානායක මැතිණියගේ ආණ්ඩුවේ අවුරුදු එකහමාරක් තිස්සේ මැති ඇමතිකම් කළා. මේ ප්‍රවාහය තුළ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ.
88/89 මේ රටේ තරුණ පිරිස හැටදහසක් ඝාතනය වුණා. ඒකට මූලිකව වගකිව යුතු තැන ජනතා විමුක්ති පෙරමුණත් හිටියා. 1971 දී ප්‍රජාතන්ත්‍රවාදීව ගොඩනැගුණු ආණ්ඩුවට විරුද්ධව කටයුතු කළා. එක පැත්තකින් ආණ්ඩු පිහිටවන්නත්, ආණ්ඩුවට බාධා කරන විනාශකාරී දේවලුත් මේ රටේ සිද්ධ කරන එක මේ අයගේ පුරුද්දක්.
අනුර කුමාර දිසානායක මැතිතුමා ණය ගැන කතා කරන ආකාරය අපි දැක්කා. මුලින් කිව්වා ඩොලර් බිලියන 44යි මේ රටේ ණය. මේ ණය ගෙවන එක කජ්ජක්, කූඹියෙක් ඉස්සරහ තියෙන දිය බින්දුවක්, මහා සාගරයක් වගේ කුඹියට පේනවා. ඒක නිසා මේ ණය ගෙවනවා කියන එක මහ ලොකු දෙයක් නෙමේ. අපි ආවට පස්සේ මේ ණය ගෙවනවා. ණය ගෙවන්න සිස්ටම් එක අපි ළඟ තියෙනවා. අපිට අයි එම් එෆ් එක ඕනේ නෑ. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන නැහැ. ණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සමස්ත වැඩපිළිවෙළම අසාර්ථකයි. ඊට වඩා සාර්ථක වැඩපිළිවෙලක් අපට තියෙනවා. කියපු නායකයා දැන් කියනවා අයි එම් එෆ් එක එක්ක යන්න ඕනේ කියලා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ, ණය ගන්න රටවල් එක සාකච්ඡා කරන්න ඕනේ කියනවා. මොකක්ද මේ පරස්පරතාවය. එතනින්ම පේනවා වැඩපිළිවෙලක් නැති බව.
ඔවුන්ට තියෙන්නේ එක වැඩපිළිවෙළයි. ජනාධිපතිධුරයට පත්වෙනවා, පාර්ලිමේන්තු විසුරුවනවා, සංස්ථා සභාපතිවරුන්ගේ ඉඳලා ඉවත් කරලා ජනතාවට ආශ්වාදයක් දදෙනාව ඇර වැඩපිළිවෙලක් ගැන සාක්චඡා වෙන්නේ නැහැ. භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම ගැනත් ඒ ගොල්ලන්ට පරස්පරතාවයක් තියෙනවා.
ඒ අය පාර්ලිමේන්තුව තුළ බලයක් ගත්තොත් ඉස්සරහට යන වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. හැම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම කතා කරලා තිබ්බට ඒ අය හැමදාම කරලා තියෙන්නේ උඩින් පල්ලෙන් අත ගෑමක්. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් තිබුණා. පරණ ඇඳුම අරගෙන ගිහිල්ලා අලුත් ඇඳුම ගන්න, මඟුල් ගෙයක් නම් මගුල් ගෙදරට ආරාධනා කරන ප්‍රමාණය, ඒකට දාන බල්බ් ප්‍රමාණය ආදී ලෙස හැම ක්ෂේත්‍රයක් ගැනම සමාජවාදී කදවුරු එක්ක බද්ධ වුණු වැඩපිළිවෙලක් තිබුණා. අද මෙතන සමාජවාදයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයත් නෑ. වැඩපිළිවෙළකුත් නැහැ. සහනත් දෙනවා. පඩි වැඩි කරනවා. බදු අඩු කරනවා. නමුත් ආදායම් උපදා ගන්න හැටි සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. ණය ගෙවීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. සහනදීමේදී එතනින් එහාට ඒ වැඩපිළිවෙළට මුදල් හොයාගන්න හැටි නැහැ. මේ රටේ ජනතාව තව තවත් මේ මුලා කරනවා.
ඒ අය පහුගිය දවස්වල රාජ්‍ය සේවය පිළිබඳව නම් විශාල ලෙස කතා කරා. ඒ අය හිතාගෙන හිටියා සියයට සීයක් රාජ්‍ය සේවකයෝ ඒ අය සමඟ ඉන්නවා කියලා. සමස්ත රාජ්‍ය සේවයෙන් සුළුතරයයි ඒ අයට ඡන්දය දීල තියෙන්නේ. බහුතරයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ පිළිබඳව සාධනීයව හිතල ඡන්දෙ භාවිතා කරලා තියෙනවා.
ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුව සියලු දෙනාගේ එකමුතුවෙන් සැදෙන ආණ්ඩුවක් වෙන්න ඕනෑ. අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඒ පක්ෂයට බහුතර බලයක් ඇවිත් ආණ්ඩුවක් හැදුවා කියමු. සමගි බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ සියල්ල ඉන්නේ ආණ්ඩුවෙන් එළියේ. එතකොට වෙන්නේ ඔවුුන්ට විරුද්ධව විරුද්ධ පක්ෂය කටයුතු කරන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවක් හැදුවත් ඒ ආණ්ඩුවට විරුද්ධව විශාල පිරිසක් එළියේ ඉන්නවා. වැඩක් කරගන්න දෙන්නේ නැතුව කකුලෙන් අදිනවා. මේක ඉදිරිකාලයේදී මේ රටෙන් නැති නැතිවෙන්න ඕනෙ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් අපි කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න. ජනතා විමුක්ති පෙරමුණේ අයත් එකතු කර ගන්න. ඒකට මේ අශුද්ධ සන්ධානය එකතු කර ගැන්න බැරි නම් ප්‍රධාන දෙද්ශපාලන ප්‍රවාහන් දෙකක් වෙන රනිල් වික්‍රමසිංහ ජනතා මහතාට සහය දක්වන කණ්ඩායම හා සමගි ජන බලවේගය එකතු වෙන්න. ජනතා විමුක්ති පෙරමුණ එක්ක ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ දිනන්න හදන්නේ පරළු පාන් ගෙඩියකට අයිසින් දාලා. ඒ අයිසින් ටික තමයි මේ එකතු කර ගන්න හදන්නේ. ඒ අය වෙනත් සළුවක් පොරව ගෙන වැරදි මතයක් ජනතාව අරට ගෙනියනවා. ඒකයි අශුද්ධ සන්ධානයක් කියන්නේ. ඒ අශුද්ධ සන්ධානය පරාජය කළ යුතුමයි. ඒ සදහා රනිල් වි ක්‍රමසිංහ මහතාට හැකියාව තියෙනවා. ඒ වැඩපිළිවෙල පරාජයට පත්කරන්න එපා කියලයි මම පාර්ලිමේන්තුවේදි කිව්වේ. මිනිස්සුන්ගේ ඔලුවලට දාලා තියෙන්නේ විසබීජ නැති කරන්න නම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකක් වෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනික ප්‍රවාහය සහ සජිත් ප්‍රේමදාසගේ ප්‍රවාහය එකතු වෙන්න කියලයි මම කිව්වේ.
මෙතනද වැරදි අදහසක් ගන්න එපා ජනතා විමුක්ති පෙරමුණට අපි බය නැහැ. ඡන්දේ දිනන්න හදන්නේ පරණ පාර්ලිමේන්තුවට අයිසින් දාලා. වෙනත් සළුවක් පුරෝ ගන්නවා. මිනිස්සුන්ට වෙනත් මතයක් ගෙනියනවා. මිනිස්සු තුළ වෛරය වපුරනවා. ඒක අශුද්ධ සන්ධානයක් ඒක පරාජයට පත් කරන්න ඕනෙමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ පරාජය කරන්න සැබෑ උවමනාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විපක්ෂ නායකතුමා උදව් කරලා මොකක් හරි ක්‍රමවේදයක් තුළ ජනාධිපතිවරයා නිර්මාණය කර ගැනීමට දායක වෙන්න කියන කාරණය මම මුල ඉඳලම කියන්නේ.
එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පක්ෂයෙන් නාම යෝජනා ගත්තා. එතකොට මේ ක්‍රමය එදා තේරුන් නැද්ද. එහෙමනම් කියන්න ඕනේ ඩී.එස්.සේනානායක ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ළඟට එනකල් වැරදියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය හොදයි. ඒ නිසා අපි ඒකට ඇතුල් වුණා කියන්න ඕනේ නේ. ඒ වුනාට කියන්නේ ඩී. එස් සේනානායකගේ ඉදලා අද වෙනකල් සියලු දෙනා නරකයිලු. එහෙම කණ්ඩායමක් එක්ක ඒ වෙලාවේ ඡන්දේ ඉල්ලනකොට මේක මතක් වුණේ නැද්ද?
සමස්ත ක්‍රමයේ වැරද්දක් නිසා අපට මෙහෙම වුණේ කියලා කිව්වට විටින් විට මුක්කු ගහලා පාර්ලිමේන්තුවට එනවා. වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙමත් නැත්නම් ආණ්ඩුවක් කරගන්න දෙන්නැතුව වට්ටනවා. 71, 88/89 විනාශකාරී වැඩපිළිවෙළ කරා. ඊට පස්සේ මෑත කාලයේදී ආණ්ඩුවලට එකතු වෙනවා.වෙන ග්‍රහලෝකයකින් ආපු අඅලුත් කණ්ඩායමක් වගේ අද කතා කරන්නේ. අද බදු ප්‍රශ්නයක් තියෙනවා. ඒක අඩු කරන්න ඕනෑ බව ආණ්ඩුව දන්නවා. මේ වගේ කාරණා ජනතාවට සංවේදීයි. එවානි ටච් කරලා අවුරුදු 75ක් තිස්සේ කෙරුණ දෙයක් නෑ, මේ රට විනාශයට ගෙනිච්චා, ඩී එස් සේනානායකගේ සිට මේ දක්වා සියලුම පාලකයෝ මේ රට විනාශයට ලක් කලාලු.
පැවැති ආණ්ඩුවල යම් යම් ප්‍රතිපත්තිමය ගැටලු තියෙනවා. පහුගිය කාලයේ පොහොර සම්බන්ධයෙන් ගත්ත ප්‍රතිපත්තිය වැරදියි. ඒ ප්‍රතිපත්තියට ආවේ කාබනික පොහොර ගේන්න ඕන කමට වඩා සල්ලි නොතිබුණු නිසා. ඒ වගේ වැරදි ප්‍රතිපත්ති ගත්තා. නමුත් නිදහසින් පස්සේ බිහිවුණු කිසිම ආණ්ඩුවක් වැඩ කරේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ.
අද ප්‍රතිපත්ති ප්‍රකාශන සේරම එක සමානයිනේ. සහන දෙනවා කියනවා. ණය සම්බන්ධයෙන් එකම දේ තියෙන්නේ. අනෙක් කාරණා සම්බන්ධයෙන් තියෙන්නෙත් එකම දේවල්. රැකියා දීම ගැන කියනවා. රේගුවේ රැකියා තුන්සීයක් දෙනවලු. එහෙමනම් ඉස්සෙල්ලා රේගුව සුද්ද කරන්න ඕනේ. රේගුව සුද්ද කරලා, එන ආදායම රටට අරන් දෙන්න ඕනේ. මෙතෙන්ට ඇවිත් තව 300ක් දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ.
මම හිතනවා මේ අශුද්ධ සන්ධානය පරාජය කරන්න, ජනතාවගේ ඔලුව කාලා විනාශ කරල තියෙන එක නැති කරන්න පුළුවන් නම් මේ දේශපාලන ප්‍රවාහයන් එකතු වෙන්න. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩසටහන කකුලෙන් අදින්නැතුව අපත් එක්ක එකතු වෙන්න. දේශපාලන ප්‍රවාහයන් එක එක තැනකට ගෙනත් එතුමාව ජයග්‍රහණය කරන්න කටයුතු කරන්න
අඩුපාඩු හදාගෙන මේ ගමන ඉදිරියට ගියොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය පුරන්න පුළුවන්. තනතුරු පසුව බෙදාගන්න පුළුවන්. රට ආරක්ෂා කරගන්න මෙතන විශාල අනතුරක් තියෙනවා. මගේ මතය බොහෝ දෙනෙක් අද කතා කරනවා. එදා තලතා මැතිණිය කතා කළෙත් ඒකයි. අද වෙනකොට මතයක් විදියට ඒක සාකච්ඡාවට බඳුන් වෙමින් පවතිනවා.මේක සුභවාදී තැනක නතර වුණොත් අපි ගත්තා වූ වෑයම සාර්ථකයි. වැරදි හඳුනාගෙන අලුත් ගමනක් යන්න සියලු දෙනා එකතු වෙන්න ඕනේ. එකතු වීම තුළ හදන ජනාධිපතිවරයෙක් එකතු වීම තුළ හදන ජාතික ආණ්ඩුවක් හදමු. අපි නැති වුණත් කමක් නෑ.