ජනාධිපතිවරණ ජයග්‍රහණයේ කළු පැල්ලම් ඇති කරගන්න, ජාතික ජන බලවේගය කිසි සේත් සූදානම් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ ඊයේ(11) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා:
“ජනාධිපතිවරණයට තව දින කිහිපයක් තිබියදී, මුළු රටෙන්ම තොරතුරු වාර්තා වෙන්නේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක, අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරන බවයි. අනුර දිසානායක සහෝදරයා කියන්නේ අවුරුදු විසිහතරකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ හිඳිමින්, තම හැකියාව සහ දක්ෂතාව පෙන්වූ අයෙක්. ඒ වාගේම විවිධ වගකීම් දරා තිබෙනවා. තව පැත්තකින් ඔහු තනි, හුදෙකලා චරිතයක් නොවෙයි. ඔහු වටා විශාල සංවිධානාත්මක බලවේගයක් තිබෙනවා.
“ඒ වාගේම සන්නද්ධ සේවා ආරක්ෂක අංශවලට අපි අවධාරණය කරන්නේ ඔබ ඔබේ රාජකාරිය නිසි පරිදි ඉටු කරන්න. පොලිසියට ඇඟිලි ගහන්නේ නැති, බලපෑම් නොකරන ආණ්ඩුවක් හැදෙනවා. අපි අමාරුවෙන් දිනා ගන්නා ජයග්‍රහණය කැත කරන්න අපට ඕනෑ නැහැ. එහෙත්, සතුරන් දිගින් දිගටම ප්‍රචාරය ගෙන යන ගැටුම් ඇති වනවා යැයි කියන තත්ත්වය ගැන අප අවධානය යොමු කරනවා.
“මහරගමදී අපි පැවැත්වූ ජාතික සංඝ සම්මේලනයට භික්‍ෂූන් වහන්සේ දහස් ගණනක් වැඩම කොට අපට ආශීර්වාද කළා. ඒ වාගේම අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ යන නිකායවල මහානායක හිමිවරුන් අපට ආශීර්වාද කර තිබෙනවා. මල්වතු පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ ඉතා පැහැදිලිව අපට කීවේ, රටට වෙනසක් කරන්න ඕනෑ කියලා. හැමදාමත් බුද්ධාගමට හානි කළ අයගෙන් තමයි, බුද්ධාගම රැකගන්න වෙලා තියෙන්නේ. අපි එන්නේ බෞද්ධයකු ලෙස ජීවත් විය හැකි වාගේම අනෙකුත් ආගම් අනුව ජීවත් විය හැකි සාමය, සතුට පිරි රටක් හදන්නයි. හැම දෙනාගේම හෘදයසාක්ෂියට අනුව ක්‍රියා කළ හැකි රටක් හදන්නයි අපි එන්නේ.”