ඕනෑම අවස්ථාවක නැඟිටින්න පුළුවන් පක්ෂයක් පොහොට්ටුව

දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ පැවති යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමේ දී සටන් කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල නගරයේදී පසුගියදා (15) පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන ජනහමුව අමතමිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මේ රට ගොඩනඟපු දේශපාලන බලවේගයක්. රටට වැඩ කළ කණ්ඩායමක්. දඹුල්ලට වගේම සමස්ත රටටම සංවර්ධනයක් ගෙනාවා නම් ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ. අපට එදා සැලැස්මක් තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා අධිවේගී මාර්ග හදලා උතුරත් දකුණත් යා කරමින් මේ රටේ මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. අපට එදා දැක්මක් තිබුණා. අපට අවශ්‍යව තිබුණා එදා අධිවේගී මාර්ග ස්ථාපිත කරමින් මහනුවර කන්ද උඩරට දක්වා මාර්ග සංවර්ධනය කරන්න. අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ගය දඹුල්ලට ගේන්න. අවාසනාවකට යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මේ අධිවේගී මාර්ගය ස්ථාපිත කිරීමට අවශ්‍ය කාරණා හෝ අධිවේගී මාර්ග පිළිබඳව අවබෝධයක් තිබුණේ නෑ.

ඇතැම් දේශපාලනඥයන් හිතුවේ මේ අධිවේගී මාර්ග ස්ථාපිත කරන්නේ ඇඹුල් තියල් ගෙන යන්න කියලා. මහාමාර්ග කාපට් කරන්නේ කොන්ක්‍රීට් කරන්නේ කන්න ද කියලා අහපු දේශපාලනඥයෝත් හිටියා. ඒ අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බැලූ විට මේ අධිවේගී මාර්ග පද්ධතිය සහ එයින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් සඳහන් කර තිබෙනවා. අද ඒ අය මේක යථාර්ථවාදීව දැකීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. නමුත් 2015ට පෙර මේ සංවර්ධන යෝජනා ක්‍රම දෙස කුහකත්වයෙන් බැලීම පිළිබඳව මම කනගාටු වෙනවා. අපට අවශ්‍යතාව තිබුණා, දඹුල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා වගේම ආර්ථික මධ්‍යස්ථානයේ විදියට ගොඩනැඟී තිබෙන දඹුල්ල ඊළඟ පියවර දක්වා රැගෙන යන්න.

එක් පැත්තකින් අධිවේගී මාර්ග සම්බන්ධ වන විට තාක්ෂණය බද්ධ කර ගත් කර්මාන්ත දඹුල්ලේ ගොඩනැඟෙන විට දඹුල්ලේ මවුපියන්ගේ දරුවන්ට ඉහළ වැටුපක් ගත හැකි රැකියාවලට යොමු කරන්න අවශ්‍ය වෙනවා. ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම තුළ ගමේ පාර හදන්න ඕනෙ කියන තැන අපි ඉන්නවා. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්නවා වගේම ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ඊළඟ පරම්පරාවට දිය යුතුයි කියන තැන අපි ඉන්නවා. වවන්න පුළුවන් සෑම බිම් අඟලකම වගා කරන්න ඕනෙ කියන ස්ථාවරය අපි ඉන්නවා. අපි පිටින් ගෙනල්ලා කන්න දෙන්න උත්සාහ කරන ආණ්ඩුවක් නොවෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මේ රටේ ගොවියා, කම්කරුවා, ධීවරයා විශ්වාස කරන දේශපාලන බලවේගයක්. අපි දේශීයත්වය අගය කරනවා. අපි අපේ සංස්කෘතිය අගය කරනවා. මේ මහ පොළොවේ යථාර්ථය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙනවා. අපි අපේ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කළ යුතුයි. තවත් පැත්තකින් ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් සමඟ කටයුතු කරනවා. අපේ වයස්වල තරුණ තරුණියන්ගේ අවශ්‍යතා පිළිබඳව අපි දන්නවා. මේ තරුණ තරුණියන්ගේ හෙට දවසේ අවශ්‍යතා පිළිබඳවත් අවබෝධයක් අපට තිබෙනවා.

මේ රටේ ගොඩනැඟෙන දැවැන්ත ආර්ථික පරිවර්තනය තුළ 2035 වන විට අපේ මාතෘ භූමිය දියුණුම රට බවට පරිවර්තනය කිරීමේ හැකියාව අප සතුව තිබෙනවා. අපි ඒක කරනවා. මේක කරන්න අපට වුවමනාවකුත් තිබෙනවා. අපි වැඩ කළ දේශපාලන බලවේගයක්. අපි මේ රටට වැඩ කර තිබෙනවා. අද දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් සියලු දෙනාටම අපි සුබ පතනවා. ඔවුන් සාමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් වූ වහාම මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ නූතනත්වය සහ නවීකරණය රැගෙන එන බවට අපි පොරොන්දු වෙනවා. ඒ තුළ දරුවන්ට උසස් පෙළ විභාගය ලියා විශ්වවිද්‍යාලයට යනවා ද අනෙක් පැත්තෙන් නිපුණතාව, කාර්මික පුහුණුව, වෘත්තීය පුහුණුව වගේම ව්‍යවසායක වෙනවද යන්න තීන්දු කිරීමේ අයිතිය ඒ දරුවන්ට දෙනවා. නූතන ලෝකයට අවශ්‍ය දරුවකු ගොඩනඟන්න අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රතිව්‍යුහගතකරණය අපි සිදු කරනවා.

සියලු පාසල් වගේම සියලු රෝහල් ජාලගත කළ යුතු වෙනවා. පාසල සහ රෝහල ජාලගත කිරීම තුළ ගුරු හිඟය වෙන්න පුළුවන්, වෛද්‍යවරුන්ගේ හෙද හෙදියන්ගේ හිඟය වෙන්න පුළුවන්, අනෙකුත් කාර්ය මණ්ඩලවල හිඟය වෙන්න පුළුවන් මේ ගැටලු සඳහා නිශ්චිත පිළිතුරක් දීමට හැකියාව ලැබෙනවා. නිවැරදි දත්තවලට අනුකූලව රාජ්‍ය යන්ත්‍රණය පාලනය කරන්න පුළුවන් වැඩපිළිවෙළ සහ තාක්ෂණය අපි හඳුන්වා දෙනවා. මේ රටේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ජීවත්වන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළ යුතු වෙනවා. රැකියා උත්පාදනය කරන්නත් එක් පැත්තකින් ව්‍යවසායකයා ශක්තිමත් කළ යුතු වෙනවා. ග්‍රාමීය හා සමුපකාර බැංකු පද්ධතිය ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය සහාය දෙන්න පියවර ගන්නවා. තවත් පැත්තකින් දේශීය සහ විදේශීය ව්‍යවසායකයන් හරහා සෑම මැතිවරණ කොට්ඨාසයකම කර්මාන්ත ශාලා ස්ථාපිත කරනවා. ඊළඟ වසර දහය ඇතුළත මේ මාතෘ භූමිය වැඩබිමක් බවට පරිවර්තනය කරනවා පමණක් නොව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට බවට පරිවර්තනය කරනවා.”

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුර සහ ප්‍රවීණ රංගන ශිල්පිනි අනූෂා දමයන්ති මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දඹුල්ල ආසන සංවිධායක ජාලිය ඕපාත යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මහින්ද අලුත්ගෙදර දඹුල්ල සිට …

ඡායාරූප – සුලෝචන ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *