ළමයින් පිළිබඳ සංවේදී කාරණා සම්බන්ධ ප්‍රවෘත්ති ජනමාධ්‍ය වල පලකිරීමේදී ළමුන්ගේ අයිතිවාසිකම් හා සුබසිද්ධියට හානිවන අයුරින් කටයුතු කිරීම වැළැක්වීමට පියවර ගැනිම සම්බන්ධවයි.

පාසල් වයසේ පසුවන ගැහැණු ළමයකු නෙළුම් කුලුණින් පැන සියදිවි හානිකර ගැනීමේ පුවත ජනමාධ්‍ය මගින් වාර්තා කිරිමේදී ඉතා විස්තරාත්මකව හා එම ළමයාගේ අනන්‍යතාවය හෙලිවන අයුරින් කරුණු වාර්තාකිරීම  ඇතැම් ජනමාධ්‍ය මගින් බහුලව සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි.

ළමා අපයෝජන හා සියදිවි හානිකර ගැනීම් ආදී සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් කරුණු වාර්තා කිරීමේදී,වින්දිත ළමයාගේ අනන්‍යතාවය හෙලි වන අයුරින් කරුණු වාර්තාකිරිම තුළින් ළමයා, එම ළමයාගේ දෙමාපියන් හා සෙසු ළමුන් ඇතුලු පිරිසද, මානසික පීඩනයට ලක්වේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා, ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂ‍ඥ වෛද්‍ය දර්ශනී හෙටිටිආරච්චි මහත්මිය පවසන ආකාරයට  මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයකින් තොරව මරණයට හේතුව පිළිබඳ නිගමනයට එළඹිය නොහැක. ඒ සඳහා අසත්‍ය පැහැදිලි කිරීම් ලබා දීමෙන් මියගිය ළමයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වේ. ඔවුන්ගේ මිතුරන් සහ සමවයස් ළමුන්ට මෙවැනි අනවශ්‍ය තොරතුරු ලබා දිමෙන්, තමන්ට හානි කරගැනීමේ ප්‍රවණතා ඇති ළමුන්ගේ සමාන හැසිරීම් ප්‍රවර්ධනය වියහැකි අතර, ගැටළු විසඳාගැනීමේ එකම මාර්ගය ලෙසද භාවිතා කළ හැක. තවද මියගිය තැනැත්තාට ලැබුණු අවධානය හා සමාන අවධානයක් ලබා ගැනීමේ අරමුණින් ළමුන් සහ නව යොවුන් වියේ අය අතර සියදිවි නසාගැනිමේ අවධානම වර්ධනය විය හැක”. එබැවින් මින් ඉදිරියට මෙවැනි පුවත් වාර්තාකිරීම් සිදු නොකල යුතු බව දන්වමි.

ජනමාධ්‍යවේදීන් ලෙස ඔබගේ පුරවැසි වගකීම ඉටු කිරීමේදී, ළමයින් පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණයන් සිදු කිරිමේදී, ඔබට විශාල වගකීමක් පැවරී ඇති අතර එම නිසා වඩාත් සැලකිලිමත්ව ප්‍රවෘත්ති වාර්තාකරණය සිදු කරන ලෙස කාරුණිකව දන්වමි.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ (ජ) වගන්තියට අනුව ළමයින්ගේ සුරක්ෂිතභාවය සහ ළමුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු සැපයීම සහ අධ්‍යාපනය ලබා දිම, යන වගන්තිය යටතේ ජාතික ළමා අරක්ෂක අධිකාරියට පැවරී ඇති බලතල අනුව මෙවැනි වාර්තාකරණයන් නියාමනය කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අයිතියක් ඇත.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 5.1 ( ඇ) වගන්තිය ප්‍රකාරව හිංසා කරනු ලැබීමෙන්, නොසලකා හරිනු ලැබීමෙන්, අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට සෑම ළමයෙකුටම අයිතියක් ඇත. එම සම්මුතියෙහි 5.2 වගන්තිය යටතේ ළමයකුගේ උපරිම යහපත ඇති කිරීම සඳහා මැදිහත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙවැනි වාර්තාකිරීම් සම්බන්ධව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව දන්වා සිටිමි.

රටේ අනාගත ළමා පරපුර  ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් සහ යුතුකමක් බැවින්, ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශවයන්ට වගකීමෙන් කටයුතු කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වගකිව යුතු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

ප්‍රීති ඉනෝකා රණසිංහ

සභාපති

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *