මෙරට ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂ නිර්මාණය කළ ‘රොකට්’ දැන් තිරගත වේ…

ශ්‍රී ලාංකික සිනමා වංශ කථාවට නව පරිච්ඡේදයක් එක්කරමින් ප්‍රථම වරට පාසල් සිසුන් පිරිසකගේ දායකත්වයෙන් පමණක් නිර්මාණය කළ සහ මෙරට ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ද බිහිවෙන ‘රොකට්’ චිත්‍රපටය දැන් තිරගත වේ…

මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, ආලෝකකරණය ඇතුළු තාක්ෂණික හා පුද්ගල නිර්මාණකරණයට සම්පූර්ණයෙන් දායකත්වය දී ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ය. වැඩිහිටි චරිත නිරූපණය එම විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් සිදු කර තිබේ.

රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ දායකත්වයෙන් සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමයෙන් මේ කතා නාද චිත්‍රපටය නිර්මාණය කර තිබේ. ‘රොකට්’ දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වේ. ලංකාවේ ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ලෙස විසි හැවිරිදි දෙනුවන් සමරසිංහ මේ නිර්මාණයෙන් සිංහල සිනමාවට එක්වේ.

‘රොකට්’ චිත්‍රපටය නිර්මාණය කිරීමට මූලික වූයේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නාට්‍ය හා රංග කලා ආචාර්ය සකුන්තලා මුණසිංහ මහත්මියයි. ඇය මේ නිර්මාණය පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය.

“සීවලී ස්වර්ණ හරිත සිනමා සංගමයෙන් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළා. එය සම්මානයට පාත්‍ර වුණා. පසුව අපි තීරණය කළා, දිගු චිත්‍රපටයක් නිර්මාණය කරන්න. කොරෝනා කාලයේදී අපි එය ආරම්භ කළා. මේ දූ දරුවන් හරිම උනන්දුවෙන් ඒ සඳහා දායකත්වය දුන්නා. රූගත කිරීම් දෙකක් අවසන් වූ විට මෙය චිත්‍රපට ශාලාවක ප්‍රදර්ශනය කිරීමට නිර්මාණය කරමු කියලා අදහස් කළා. ඒ අනුව ‘රොකට්’ පුළුල් නිර්මාණයක් බවට පරිවර්තනය වුණා.”

සිංහල සිනමාවේ ළාබාලතම අධ්‍යක්ෂවරයා ලෙස ඉතිහාසගත වන දෙනුවන් සමරසිංහ මෙලෙස අදහස් දැක්වීය.

“මෙය අභියෝගාත්මක මෙන්ම සුන්දර කාර්යයක් වුණා. මම කලා අංශයෙන් උසස් පෙළ හදාරද්දී මේ නිර්මාණයට දායකත්වය දුන්නා. 2018දී යූ ටියුබ් එකට වීඩියෝ නිර්මාණ කළා. මම හදාරන විෂයයන්වල ශක්තියත් මේ සඳහා ලැබුණා. විදුහල්පති කපිතාන් නීල් වතුකාරවත්ත මහතාගේ මඟපෙන්වීම සහ උපදෙස් ලැබුණා. විද්‍යාලයේ සිසු සහෝදර සහෝදරියන්ගේ දායකත්වයත් මේ අපූරු සිනමා පටයට හිමි වුණා.”

කහවත්ත ලසන්ත නිරෝෂණ පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *