( Indika Bandara – Journalist suratha.lk )
ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළඳ සබඳතා සහ ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් රටක් වශයෙන් මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානයට යොමු විය. 2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහි දී අවධාරණය කෙරිනි.
මෙම සාකච්ඡාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය, ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දර්ශන එම්. පෙරේරා මහතා සහ යුරෝපා හා උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ද සහභාගී විය.