AgriGreen Initiative ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8 ක ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම

කෘෂි හරිත මුලපිරීම (AgriGreen Initiative) – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමය අතර යුරෝ මිලියන 8 ක ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීම

 “කෘෂි හරිත මුලපිරීම – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය”සිදු කිරීම අරමුණු කරගත් නව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය (EU) සමඟ ප්‍රදාන ගිවිසුමක් අත්සන් කරන ලදි.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය සමඟ එ්කාබද්ධව සකස් කරන ලද මෙම ව්‍යාපෘතිය යුරෝපා සංගමය විසින් සපයනු ලබන යුරෝ මිලියන 8 ක ප්‍රදානය, මඟින් මූල්‍යනය කරනු ඇත.

තිරසාර පරිභෝජනය හා නිෂ්පාදන පිළිවෙත් සහ ආහාර සුරක්ෂිතතාව සහතික කරන හරිත ආර්ථික වර්ධනයක් කරා පරිවර්තනය වීමට මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇත. තවද, තරුණයින් සහ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් රබර් අංශයේ තෝරාගත් නිෂ්පාදන දාමයන් තුළ වඩාත් තිරසාර හා පාරිසරික වශයෙන් වැදගත් කෘෂිකාර්මික පිළිවෙත් වෙත මාරුවීමක් උත්ප්‍රේරණය කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී, ආචාර්ය Johann H. Hesse මහතා විසින් මෙම ප්‍රදාන ගිවිසුම නිල වශයෙන් හුවමාරු කර ගන්නා ලදි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් යුරෝපා සංගමයේ වටිනා සහයෝගයට අවංක කෘතඥතාව පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට සහ වෙළඳපොළ කේන්ද්‍ර කරගත් අගය එකතු කිරීම සහ වැඩිදියුණු කළ ඒකාබද්ධතාවය සමඟ අපනයන වෙළඳපොළ දියුණු කිරීමේ ප්‍රයත්නයට මැනවින් සමපාත වන බව අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු විසින් මෙම ගිවිසුම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වයට සාක්ෂියක් වනු ඇති බවත් මෙමඟින් පාරිසරික තිරසාරභාවය, සමස්ත වර්ධනය සහ දිගුකාලීන සමතුලිත ආර්ථික ප්‍රත්‍යස්ථතාවය සඳහා අපගේ හවුල්කාරීත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවත් සඳහන් කරන ලදි.