ලොව පුරා ප්‍රේක්ෂකයන්ට තරඟය නැරඹීමේ අවස්ථාව උදා කර දෙමින් නව්‍ය තාක්ෂණය තුලින් අසමසම අත්දැකීමක් ලබා දීම හා ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරයි
2026 මැයි 12, කොළඹ – එළඹෙන ජූලි 10 වන දින ඇරඹීමට නියමිත LPL 6 වන අදියර සාර්ථක කර ගැනීම වෙනුවෙන් තවත් සුවිසල් ආයෝජන අවස්ථාවක් උදා කර ගැනීමට IPG පසුගියදා සමත් විය.
ඒ ඇමරිකාවේ NASDAQ කොටස් වෙළෙඳපොලෙහි ලියාපදිංචි සමාගමක් සමඟින් උපාය මාර්ගික හවුල්කාරීත්වයක් ඇති කරගනිමිනි. ඒ යටතේ ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් මෙවර LPL තරඟාවලිය සඳහා ලබා ගැනීමටත් එහි මූල්‍ය ශක්තිය ඉහළ නංවා ගැනීමටත් IPG සමූහයට හැකි වී තිබේ.
මෙම ආයෝජන සහයෝගය තුලින් ඉදිරි වසර 2 ක කාලය තුළ LPL තරඟාවලිය මීට වඩා ඉහළ මට්ටමේ තරඟාවලියක් ලෙස ඉදිරියට ගෙන යාමටත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමටත් IPG සමූහය අපේක්ෂා කරයි. ඒ සඳහා ඩොලර් මිලියන 20ක ආයෝජනයක් ලබා ගැනීමටද ඔවුන් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Global හි සභාපති අනිල් මොහාන් මහතා සඳහන් කර සිටියේ “ මෙම සහයෝගීතාව තුලින් LPL තරඟාවලියට සුවිසල් ප්‍රතිලාභයක් හිමිවනවා. කොටස් වෙළෙඳපොලෙහි ලියාපදිංචි සමාගමක් සමඟ එක්වීම තුලින් තරඟාවලිය සාර්ථකව ඉදිරියට ගෙන යාමටත්, ඒ සඳහා වැඩි මුදලක් ආයෝජනය කිරීමටත් හැකියාව උදා වනවා. ඒ හරහා තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම්හි වටිනාකම් ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.
LPL තරඟාවලියට අමතරව මැලේසියාවේ හා සිම්බාබ්වේ යන රටවල T20ලීග් තරඟාවලි සංවිධානය කිරීම හා දියුණු කිරීමේ අයිතියද IPG සමූහය සතුය. ආයෝජකයින් සමඟ තව දුරටත් එක් වෙමින් එම රටවල ද ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ කටයුතු ඉහළ නැංවීමට ඔවුන් සැලසුම් කොට ඇත.
මේ වන විට හුදකලා තරඟාවලි ලෙස පවත්වනු ලබන ලීග් තරඟාවලි දකුණු ආසියාව හා අනෙකුත් නැගී එන කලාපයන් ආවරණය වන පරිදි ඒකාබද්ධ, බහු වෙළෙඳපොල ක්‍රිකට් ව්‍යාපාරයක් දක්වා වර්ධනය කිරීමට ඔවුන් බලාපෙරොත්තු වේ.
මෙහිදී අදහස් දැක්වූ Flash Sports & Media shares හි ප්‍රධාන විධායක නිලධාරී Bradley Nattrass මෙසේ පැවසීය. “මෙම සහයෝගීතාවය තුලින් එකවර විවිධ රටවල ක්‍රිකට් ආර්ථිකයන්හි සාර්ථකව කටයුතු කිරීමට අප සතු හැකියාව තව දුරටත් වර්ධනය වනවා. වගකිවයුතු වාණිජ පාලනයක් හා කණ්ඩායම් සඳහා නිසි දිරිගැන්වීම් ලබා දීම මඟින් අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීමට, ශක්තිමත් විකාශන හවුල්කාරීත්වයන් ඇති කර ගැනීමට සහ විවිධ වෙළෙඳපොල තුල ප්‍රේක්ෂක සහභාගීත්වය ඉහළ නැංවීමට මේ තුලින් බලාපොරොත්තු වනවා.”
Flash Sports & Media හි ප්‍රධාන විධායක නිලධාරී Eric Sherb මෙහිදී අදහස් දක්වමින් “ public-market හේතුවෙන් ආයෝජනය කරන මුදලට වගකිවයුතු ප්‍රතිලාභයක් ලබා දෙමින් ලීග් තරඟාවලිහි යටතල පහසුකම් දියුණුව සඳහා පියවරෙන් පියවර ප්රාග්ධනය යෙදවීමට හැකියාව උදා වනවා. දිගු කාලීන වාණිජ සංවර්ධනයක් ශක්තිමත් කිරීමට මෙන්ම අපගේ ව්‍යාපාර සමූහය පුරා අඛණ්ඩව ආදායම් හිමිවන මාර්ගයන් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසීය.
මෙම පියවරෙහි අරමුණ වන්නේ වාණිජමය වශයෙන් ආදායම් ඉපැයීම සඳහා ඒකාබද්ධ වේදිකාවක් නිර්මාණය කිරීමයි. ඊට අමතරව තරඟාවලි කිහිපයකම අනුග්‍රාහක ආදායම් එක් මධ්‍යස්ථානයකට රැස් කිරීම, විකාශන කටයුතු 4K තාක්ෂණය දක්වා උසස් කිරීම සහ අඛණ්ඩව ස්ථාවර ආදායම් මාර්ග බිහිකිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට IPG අරමුණු කොට ගෙන ඇත.

