දශකයක් පමා වූ ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ භූමිගත රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ (DTTB) ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) අතර පැවැත්වෙන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ව්‍යාපෘතිය කඩිනමින් ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡාවක් අද (25) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Zsomata මහතා අතර පැවැති මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණේ 2014 වසරේ දී අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද විවිධ හේතු නිසා එම කටයුතු දශකයකට ආසන්න කාලයක් ප්‍රමාද වූ බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) ඇතුළු ආයතන සඳහා නව ඩිජිටල් විකාශන පහසුකම්, ප්‍රේෂක පද්ධති, ඇන්ටෙනා සහ නවීන තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය. මෙය ජපානයේ ISDB-T තාක්ෂණය මත පදනම් වන අතර බහුභාෂා විකාශන, හදිසි අනතුරු ඇඟවීම් පද්ධති සහ උසස් ගුණාත්මක රූපවාහිනී සේවාවන් ලබාදීමේ හැකියාව ද සපයයි.

ඩිජිටල් සංක්‍රමණය සුමටව ක්‍රියාත්මක කිරීම සඳහා අඩු ආදායම්ලාභී ජනතාවට Set-Top Boxes (STB) සහන මිලට ලබාදීම, මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ Analog සිට Digital විකාශන පද්ධතියට මාරුවීමේ කාලසටහන කල්තියා ප්‍රකාශයට පත් කිරීම වැනි ක්‍රියාමාර්ග ද මේ යටතේ සලකා බැලේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) විසින් මේ සම්බන්ධ ජාතික වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින අතර, JICA ආයතනය තාක්ෂණික උපදේශන සහ සහයෝගය ලබාදීමට එකඟ වී ඇත.

ශ්‍රී ලංකාවේ ජනතාවට වඩාත් ගුණාත්මක, නවීන සහ ආරක්ෂිත රූපවාහිනී විකාශන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙහි දී අවධාරණය කෙරිණි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජපානය උපරිම දායකත්වය ලබා දීම සූදානම් බව තානාපතිවරයා මෙහි දී අවධාරණ කළේය.

මෙම අවස්ථාවට JICA ආයතනයේ නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.