පලාලි අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡාවක්

පලාලි අධි ආරක්ෂිත කලාපය තුළ පවතින ජනතාවගේ ඉඩම් ගැටළු ඇතුළු උතුරු පළාතේ ආරක්ෂක අංශ විසින් පරිහරණය කරන සිවිල් ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම සහ එම ගැටළු සඳහා විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (2026-05-26) යාපනය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කවල ආරක්ෂක අංශ භාවිතා කරන සිවිල් ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීම පිළිබඳව
මෙහිදී ප්‍රධාන අවධානය යොමුවිය.

විශේෂයෙන් 1986 වසරේ සිට පලාලි ගුවන් හමුදා කඳවුර ඇතුළු අධි ආරක්ෂිත කලාපය සඳහා ලබාගත් සිවිල් ජනතාවගේ ඉඩම් වෙනුවෙන් මෙතෙක් වන්දි ලබා නොදීම හේතුවෙන් ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ආරක්ෂක අංශ පාලනය යටතේ පවතින පාසල් හා ආගමික ස්ථාන නිදහස් කර නැවත ජනතා පරිහරණයට ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද අවධානය යොමුවිය.

මේ වන විට යාපනය පලාලි ආරක්ෂිත කලාපය තුළ පිහිටි ඉඩම් අක්කර 21,280 කට ආසන්න ප්‍රමාණයක් සිවිල් ජනතාව වෙත මුදා හැර ඇති බව සඳහන් කළ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන ආකාරයෙන් ඉදිරි කාලයේදීද එම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරගෙන යාමට කටයුතු කරන බව පැවසීය.

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමරන්, යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝ, නාවික හමුදාපති කාංචන බානගොඩ ඇතුළු යුද හා නාවික හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.