ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම T20 ක්‍රිකට් තරගාවලිය වන Lanka Premier League 2026 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩා අමාත්‍යතුමා වෙත නිල වශයෙන් ආරාධනා කර තිබේ. ඒ අනුව, IPG සමූහයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා විසින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ මහතා වෙත මෙම නිල ආරාධනා පත්‍රය පිළිගන්වන ලදී. මෙය මෙවර LPL තරගාවලියේ මූලික කටයුතු ඇරඹීම සනිටුහන් කරන සුවිශේෂී අවස්ථාවකි.
මෙම නිල ආරාධනයත් සමඟ 2026 LPL තරගාවලියේ මීළඟ ප්‍රධානතම මෙන්ම වැඩිම පිරිසක් බලාපොරොත්තු තබාගෙන සිටින ක්‍රීඩක වෙන්දේසියේ කටයුතු සඳහා වන සූදානම තවදුරටත් පෙන්නුම් කරයි. දෙස් විදෙස් ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින්, කණ්ඩායම් හිමිකරුවන් සහ නියෝජිතයින් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය, මෙවර තරගාවලිය සඳහා ප්‍රබල කණ්ඩායම් නිර්මාණය කරගැනීමට කදිම වේදිකාවක් වනු ඇත.
LPL තරගාවලිය, ක්‍රීඩකයන්, කණ්ඩායම් හිමිකරුවන්, අනුග්‍රාහකයින්, විකාශන ආයතන මෙන්ම ප්‍රේක්ෂකයින්ට සුවිශේෂී අවස්ථා උදාකර දෙන ක්‍රිකට් සහ විනෝදාස්වාද මාධ්‍යයක් ලෙස අඛණ්ඩව වර්ධනය වී තිබේ. මෙවර 2026 ක්‍රීඩක වෙන්දේසිය හරහා නවක දක්ෂතා, ප්‍රවීණ ක්‍රීඩකයන් සහ කණ්ඩායම්වල උපායමාර්ගික තීරණ කෙරෙහි වැඩි අවධානයක් යොමුවන බැවින්, එය තරගාවලියේ ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමට හේතු වනු ඇත.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් IPG සමූයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා පැවසුවේ ‘’ගරු සුනිල් කුමාර ගමගේ අමාත්‍යතුමා වෙත LPL 2026 ක්‍රීඩක වෙන්දේසියේ නිල ආරාධනාව පිළිගැන්වීමට ලැබීම විශාල ගෞරවයක්. ක්‍රීඩක වෙන්දේසිය යනු සෑම තරග වාරයකම ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා මෙන්ම එහි වාණිජමය වටිනාකම එකට එකතු කරන සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙවරත් සියලුම පාර්ශවකරුවන් සමඟ එක්ව ඉතාමත් තරඟකාරී, ආකර්ෂණීය මෙන්ම වෘත්තීය මට්ටමෙන් උසස් තරගාවලියක් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
