• රු. මිලියන 86,153කින් මාර්ග 110ක් සංවර්ධනය – 16ක් තවමත් වැඩ අවසන් නැහැ
• වවුනියාවේ ප්‍රමාද වූ මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ප්‍රවාහන කමිටුවේදී දැඩි උපදෙස්
• ග්‍රාමීය මාර්ග සංවර්ධනය ප්‍රමාදවීම ගැන අමාත්‍යවරයාගෙන් දැඩි අවවාද
• බොරළු සහ අමුද්‍රව්‍ය ගැටළු නිසා මාර්ග වැඩ ප්‍රමාදයි
• 2026 සඳහා රු. මිලියන 350,000ක් මාර්ග හා පාලම් සංවර්ධනයට
• දුම්රිය හරස්මාර්ග සංඥා අඩුපාඩු කඩිනමින් සකස් කිරීමට උපදෙස්
• ප්‍රවාහන සම්බන්ධීකරණ කමිටුවේදී වවුනියාව මාර්ග සංවර්ධනයට නව තීරණ
• ජනතා පහසුව සඳහා මාර්ග, පාලම් සහ බස්නැවතුම්පොළ සංවර්ධනයට දැඩි අවධානය
වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති සියලුම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති මැයි 31 වන දිනට පෙර අවසන් කරන ලෙස වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා උපදෙස් ලබා දුන්නේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2026 මැයි 14 දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වවුනියාව දිස්ත්‍රික් ප්‍රවාහන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
මෙම රැස්වීම වවුනියාව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, ජාතික ජනබලවේග වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි. එ. සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අමාත්‍යවරයා සඳහන් කළේ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවත්, අවස්ථා ගණනාවකදී කාලය දීර්ඝ කිරීම් සිදු කළද තවමත් මාර්ග කිහිපයක වැඩ අවසන් කර නොමැති බවත්ය. එම නිසා ඉතිරිව ඇති සියලුම ව්‍යාපෘති කඩිනමින් නිම කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
2025 – 2026 වසර සඳහා ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 86,153ක් වෙන්කර ග්‍රාමීය මාර්ග 110ක් සංවර්ධනය සඳහා පියවර ගෙන තිබේ. මේ වන විට ඉන් මාර්ග 94ක වැඩ අවසන් කර ඇති අතර තවත් මාර්ග 16ක සංවර්ධන කටයුතු තවමත් නිම වී නොමැති බව අනාවරණය විය.
විශේෂයෙන් වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග පිළිසකර කිරීමේදී බොරළු ලබා ගැනීමේ ගැටළු සහ අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ අපහසුතා හේතුවෙන් වැඩ ප්‍රමාද වී ඇති බවද මෙහිදී හෙළි විය.
තවද 2026 වසර සඳහා ප්‍රධාන මාර්ග, ග්‍රාමීය මාර්ග, පාලම් සහ අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 350,000ක් වෙන්කර ඇති අතර, එම ව්‍යාපෘති ජූලි මාසයේ ආරම්භ කිරීමටද අනුමැතිය ලබා දී ඇත.
වවුනියාව උතුර ප්‍රාදේශීය සභාව යටතේ පවතින මාර්ගවලින් අඩක් පමණ මේ දක්වා පිළිසකර කිරීම අවසන් කර නොමැති බවද මෙහිදී අනාවරණය වූ අතර, ඒ පිළිබඳව අදාළ ප්‍රාදේශීය සභා සභාපතිවරයා
සහ ලේකම්වරයා දැනුවත් කර කරුණු විමසන ලෙස අමාත්‍යවරයා ප්‍රවාහන සම්බන්ධීකරණ කමිටුව වෙත උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම දුම්රිය හරස්මාර්ග ආසන්නයේ පවතින ආලෝක සංඥා කඩිනමින් පිළිසකර කරන ලෙසත්, වවුනියාව ප්‍රධාන බස්නැවතුම්පොළේ පවතින අඩුපාඩු සියල්ල නිවැරදි කර ජනතාවට එම ස්ථානය වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට පහසුකම් සලසා දෙන ලෙසත් නිලධාරීන් වෙත දැනුම් දෙන ලදී.
මෙම අවස්ථාව සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ලේකම්
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
