නානුඔය රදැල්ල බස් රථ අනතුරින් දිවි අහිමි වුවන් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙත්, රජයෙත් මධ්‍යම  පළාතෙත් ශෝකය පුද කරයි..

අනතුරින් තුවාල ලැබූ සහ තවමත් ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් කැපවුණු සියලු දෙනා වෙත  ගරු ජනාධිපතිතුමාගෙත්,රජයේ සහ මධ්‍යම පළාත් සභාවේ ගෞරවය ද පුද කරයි.

පළාත් පාලන ආයතන වල රථවාහන කමිටුව නිසි තීන්දු තීරණ නොපමාව ගැනීමෙන් මෙවන් අනතුරු අවම කළ හැකියි.
– මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ

ජනවාරි මස 20වැනි දින පස්වරුවේදී නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අධ්‍යාපන චාරිකාවක නිරතවූ පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වැන් රථයක හා ත්‍රී රෝද රථයක ගැටීමෙන් ප්‍රපාතයකට පෙරලී අනතුරකට ලක්වීමෙන් දිවි අහිමිවූ සියලු දෙනාගේ නිවෙස් වෙත ගොස්  රජයේ මෙන්ම මධ්‍යම පළාත් සභාවේත් ශෝකය පළකිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා (22) කටයුතු කළේය. එමෙන්ම එම අනතුරින් තුවාල ලබා නුවරඑලිය රෝහලේ තවමත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ තත්ත්වය පිළිබද විමසීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

“මෙවන් විපතක් මෙම මාර්ගය තුළ නැවත සිදුවීම වැලැක්වීම සදහා පියවර ගන්නා ලෙස”  එකී පවුල්වල සාමාජිකයින් සියලු දෙනාගේ එකම ඉල්ලීම වූ අතර එයට ප්‍රතිචාර දක්වමින් පළාත් පාලන ආයතන වල රථවාහන කමිටුව මගින්, මාර්ග සංවර්ධන අධිකාරිය , පොලිසිය ආදී අදාල ආයතන ඒකාබද්ධව  ගතයුතු පියවර කඩිනමින් ගැනීම සදහා ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දෙන ලදී.

මෙම සිද්ධිය පිලිබද තමන් දැනුවත් වූ මොහොතේම නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා , නුවරඑලිය පොලිස් අධිකාරීවරයා ඇතුළු අදාල පාර්ශව වෙත මෙන්ම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා අමතමින් අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් ප්‍රාදේශීය ලේකම් වරුන් වෙත මෙම අනතුරින් මරණයට පත්වූ ප්‍රදේශයේ පිරිස්වල පවුල් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා ඍජුවම මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙමින් සියලු පාර්ශවයන් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය වෙනම් වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝගීන් කඩිනමින් වෙනත් පහසුකම් සහිත රෝහල් වෙත ගෙනයාමට උපදෙස් දුන් බවත් මෙම හදිසි අනතුර අවස්ථාවේදී අනතුරට ලක්වූවන් බේරා ගැනීමටත් ඔවුන් රෝහල් කරා යොමු කිරීමටත්, අවශ්‍ය රෝගී සත්කාර උපරිම අයුරින් සිදු කිරීමටත්, එම පවුල් වල සාමාජිකයින් වෙත අවශ්‍ය පහසුකම් ලබාදීමටත් කටයුතු කළ ආරක්ෂක අංශ, සිවිල් ජනතාව, සෞඛ්‍ය අංශ, රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා වෙත රජයේත්, මධ්‍යම පළාත් සභාවේත් ගෞරව ස්තූතිය පිරිනමන බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කොට සිටියේය.

අදාළ අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර අදාළ මාර්ගය නිවැරදිව  සංඥා පුවරු සවිකොට ඇති අයුරුත්, ආරක්ෂක වැට යොදා ඇති අයුරුත් එහිදී නිරීක්ෂණය විය.  එම මාර්ග කොටස තද බෑවුම් සහ වංගු සහිත ප්‍රදේශයක් බැවින් රියැදුරන් වඩා ආරක්ෂාකාරී අයුරින් රිය ධාවනය කළයුතු බව නිරීක්ෂණය වූ අතර අදාළ වාහන වල තත්ත්වය පිළිබඳවද මෙහිදී සැලකිලිමත් විය යුතු බවත් කෙතරම් ආරක්ෂිත ලෙස පුළුල් මාර්ග නිර්මාණය කළද, අඩියෙන් අඩියට පොලිස් නිලධාරීන් යෙදුවද, අඟලෙන් අඟලට අනතුරු ඇඟවීම් පුවරු සවිකළද විනයෙන්, හික්මීමෙන් කටයුතු කරන රියදුරන් නොමැති නම් මෙවන් අනතුරු වැලැක්වීම අපහසු බව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි එස්.  ජයසුන්දර මහතා ස්ථානය නිරීක්ෂණයට සහභාගී වෙමින් සදහන් කර සිටියේය.

නුවරඑලිය හා අඹගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,  නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් වරයා, ප්‍රදේශය ලේකම් වරයා, මධ්ම පළාත් ආණ්ඩුකාර ලේකම් වරිය, මාර්ග සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් ඉංජිනේරුවරයා සහ පොලිස් නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *