- දේශපාලඥයෝ දේශපාලනය නොකර අනික් සේරම කරනවා…
- ඇතැම් භික්ෂූන් වහන්සේලාද භික්ෂූත්වයට ආවේණික දේ නොකර අනික් දේවල් කරනවා…
- තමන්ට හිමි දේ නොකර හිමි නැති දේ කිරීම අපේ රටේ දොෂයක්…
රට තුළ ඇති වී තිබෙන ව්‍යසනයට සියයට සියයක් වග කිව යුත්තේ දේශපාලඥයින් නොවන බවත්, රටේ සිටින සෑම කෙනෙකුම අඩු වැඩි වශයෙන් ඊට වග කිව යුතු බවත්, අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබ්බෑගල මේධංකර හිමියෝ පැවසීය.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ අද රටේ සිටින බොහෝ දේශපාලඥයින් සේම ඇතැම් භික්ෂූන් වහන්සේලාද තමන්ට ආවේණික දේ සිදු නොකර අනික් සියලුම දේ සිදු කරන බවයි.
තමන්ට පැවරුණු කාර්යය වගකීමෙන් හා වගවීමෙන් ඉතා හොදින් සිදුකළ රෙජී රණතුංගයන් බොහෝ ආදාර්ශමත් දේශපාලඥයෙක් බවද උන්වහන්සේ සදහන් කළේය.
පූජ්‍ය කොබ්බෑගල මේධංකර හිමියන් මේ බව සදහන් කළේ කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත රෙජි රණතුංග මැතිතුමාගේ 86 වන ඡන්ම දිනය නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන සමරු දේශනයට සහභාගී වෙමිනි. මෙම උත්සවය ගම්පහ, උඩුගම්පළ කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, අර්චනා රණතුංග දියණිය ඇතුළු පවුලේ ඥාතීන් පළමුව උඩුගම්පල පිහිටි රෙජි රණතුංග මහතාගේ ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්විය. ඉන් අනතුරුව ජන්ම දින සැමරුම ආරම්භ කෙරුණි.
සමරු දේශනයට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ රාජකීය පණ්ඩිත පූජ්‍ය කොබ්බෑගල මේධංකර හිමියන් වැඩිදුරටත් මෙසේද දේශනා කළේය.
“අපි අද අනුස්මරණය කරන්නේ මේ රටේ හිටපු ආදර්ශ, කෘතහස්ත, පරිණත දේශපාලඥයෙක්. නායකයෙක්. දක්ෂ කළමණාකරුවෙක්. ඒ දිවංගත රෙජි රණතුංග මැතිතුමායි. එතුමා අභාවයට පත් වී මැයි මස 31 වනදාට වසර 15 ක් ගත වනවා. එතුමාගේ අභාවයෙන් වසර 15 ක් ගත වන අවස්ථාවක අපි පුනරාවර්ජනය කළොත් මෙම වසර 15 තුළත් එතුමා සිටියා නම් මොන තරම් වෙනසක් රටට, සමාජයට, ප්‍රදේශයට, දේශපාලන ක්ෂේත්රයට සිදු වෙයිද කියලා අපිට සිහියට නැගෙනවා.
රෙජි රණතුංග මැතිතුමා ජාතික දේශපාලනයේ වගේම ගමේ දේශපාලනයේත් පතාක යෝධයෙක්. දේශපාලනය කිරීමේදී බිම් මට්ටමේ දේශපාලනය ශක්තිමත් වුණේ නැත්නම් ජාතික මට්ටමේ දේශපාලනය සාර්ථක කර ගන්න බැහැ. අද ගොඩක් දේශපාලඥයින්ට සිදු වෙලා තියෙන්නේ එම ගැටළුවයි. රෙජි රණතුංග මැතිතුමා ආදර්ශ, කෘතහස්ත, පරිණත දේශපාලඥයෙක් ලෙස හදුන්වන්නේ එතුමා බිම් මට්ටමේ ගමේ දේශපාලනය ඉතාම සාර්ථකව සිදු කළා. ඒ ලැබු පන්නරය තුළ ජාතික මට්ටමේ දේශපාලනය තුළත් පතාක යෝධයෙක් වුණා. ගමේ මනුස්සයත්, රටේ නායකයත් ඉතාම හොදින් හදුනනවා. ජාත්‍යන්තරයත් ඉතා හොදින් දිනා ගත්තා. එතුමාගේ අර්ථවත් දේශපාලන ගමන එයයි. එතුමා අවසන් ගමන් යන තුරුම මිනිසුන්ගේ හදවත තුළ ජීවත් වුණු හදවත් සොරා ගත්ත දේශපාලන නායකයෙක්.
එතුමා ආදර්ශ, කෘතහස්ත, පරිණත දේශපාලඥයෙක් ලෙස හැදින්වීමට හේතු වු ගුණාංග, සාධක රැසක් තිබෙනවා. ඒ අතර එකක් තමයි, තමා ඉදිරිපිට සිටින නායකයා පිළිබද මනා අවබෝධයකින් යුතුව කටයුතු කිරීම. එතුමා සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන් දේශපාලනයට ප්රවිශ්ට වු කෙනෙක්. මැතිණයගේ නායකත්වයට හැමදාම ගරු කළා. එතුමියගේ ජීවිතය පවා බේරා ගත්තා. නායකත්වය වෙනුවෙන් කැප වුණා. රණතුංගවරුන්ගේ දේශපාලනය තුළ මා දකින දෙයක් තමයි, තමන්ගේ නායකත්වයට ගරු කරමින් කටයුතු කරන ලක්ෂණය. එය රෙජී රණතුංග මැතිතුමාගෙන්ම ලැබුණු දෙයක්.
අපිට වැරදුනුතැනක්ද මම දන්නේ නැහැ, අපිට අපේ රටේ නායකයා ගැන කාලයකදී හදුනා ගන්න බැරි වුණා. නායකයා අපිට එහෙම කරයි කියලා අපි තුන් හිතකින්වත් හිතුවේ නැහැ. නායකත්වය තුළ ඉදලා අද ගොඩක් අසරණ වෙලා ඉන්නේ අපේම අයයි. අපේ අයට අසරණ වෙන්න දෙන්නේ නැතුව මේ අය එකතු කරගෙන කොහොම හරි මිනිසුන්ට ශක්තිය ලබා දෙමින් කටයුතු කරන්න ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට මානසික ශක්තිය, පෞර්ෂ්‍යය ලැබිලා තිබෙනවා.
රෙජි රණතුංග මැතිතුමා නිහඩව වැඩ ගොඩක් කරපු කෙනෙක්. එය ඉතාම වටිනාවා. අංගුත්තර නිකායේ ගජ්ජිත සූත්‍රය තුළත් බුදුහාමුදුරුවෝ ඒ ගැන සදහන් කරලා තිබෙනවා. එහි වැඩ කරන අයව කොටස් 4 කට බෙදලා තියෙනවා, වැස්සයි ගොරවන එකයි උපමා කරගෙන. අහස පුපුරන්න ගොරවනවා, නමුත් ටිකක්වත් වහින්නේ නැහැ. මහ වැසි වහිනවා, ගොරවන්නේ නැහැ. වහින්නේත් නැහැ, ගොරවන්නෙත් නැහැ. වහිනවා ඒ වගේම ගොරවනවා. මේ සිද්ධි 4 ට වැඩ කරන මිනිසුන්ව උපමා කරලා තියෙනවා. ඇතැම් අය ඉන්නවා බෙරිහන් තියලා කෑ ගහනවා, නමුත් සතපහක වැඩක් කරන්නේ නැහැ. කයිය පමණයි. සමහර අය ඉන්නවා වැඩි කතාවක් නැහැ, විශාල වැඩ ගොඩක් කරනවා. සමහරු ඉන්නවා වැඩක් කරන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. ඒ වගේම කතාවයි වැඩයි දෙකම තියෙන අයත් ඉන්නවා. අපේ රටේ දේශපාලනයේ නරකම පැතිකඩක් තමයි, නිහඩව වැඩ කරන කෙනා ප්‍රතික්ෂේප කරනවා, වැඩක් නොකරන බෙරිහන් දෙන කෙනා වටේට හැමෝම යනවා. බුදුහාමුදුරුවෝ අගය කලේ ගොරවන්නේ නැතුව වහින මහ වැස්සක් වගේ මිනිසාගේ යහපත් වෙනුවෙන් නිහඩව වැඩ කරන කෙනායි. රෙජි රණතුංග මැතිතුමාත් මා දකින්නේ ගොරවන්නේ නැතුව වැහැපු මහා වැස්සක් වගෙයි.
එතුමාගේ චරිතයේ දක්නට ලැබුනු මීළග ගුණාංගය වන්නේ කළ යුත්ත නොකළ යුත්ත මනා කොට තේරුම් ගෙන කටයුතු කිරීමයි. එතුමගේ ගුණ සුවද හදුනන මේ පළාතේ මිනිසුන් එය හොදින්ම දන්නවා. උපන් වෙලාවෙදී කවුරුත් හොද මනුස්සයෙක් වෙන්නෙත් නැහැ, නරක මනුස්සයෙක් වෙන්නෙත් නැහැ. හොද නරක දෙක ක්‍රියාත්මක වන්නේ සමාජය තුළ වැඩ කරන ආකාරය අනුවයි. ඒ නිසා ඕනම හොද කෙනෙකු තුළ නරක තියෙන්න පුළුවන්. ඒ වගේම නරකයි කියන අය තුළ හොද තියෙන්නත් පුළුවන්. අපි සුවදයි ලස්සනයි කියලා දකින රෝස මලෙත් නටුවේ කටු තියෙනවා.
මෙම න්‍යාය අද හුගක් අයට තේරුම්ගන්න බැරිවෙලා තියෙනවා. එය දේශපාලන අධිකාරිය, රාජ්‍ය සේවය, රටවැසියා තුළ දකින්න පුළුවන්. කළ යුතු දේ නොකළ යුතු දේ කුමක්ද යන්න තේරුම් ගෙන වැඩ කිරීමේ අවබෝධය අද ගොඩක් අයට නැහැ. කරන්නෙම නොකළ යුතු දේවල්. නමුත් රෙජි රණතුංග මැතිතුමා මනා ලෙස දේශපාලනය සිදුකළා. ඒ නිසයි අදටත් අපි එතුමා සිහි කරන්නේ. අද රටේ ගොඩක් දේශපාලකයෝ දේශපාලනය නොකර අනික් සේරම කරනවා. හාමුදුරුවොත් එහෙමයි. සිල්වත් ගුණවත් හාමුදුරුවොත් ඉන්නවා. නමුත් බහුතරය හික්ෂූත්වයට ආවේණික දේ නොකර අනික් දේවල් කරනවා. අපේ රටේ තිබෙන දෝෂයක් එය. තමන්ට හිමි දෙය නොකිරීම. ඒ අතින් රෙජී රණතුංගයන් තමන්ට පැවරුණු දේ වගකීමෙන් හා වගවීමෙන් ඉතාම හොදින් සිදුකරා. එතුමා නිහඩව වැඩ කිරීමේ කලාව අපට ඉගැන්වුවා. අපේ රටට ඇති වී තිබෙන ව්‍යසනයට වග කිව යුත්තේ සියයට සියයක් දේශපාලඥයෝ නොවෙයි. මේ රටේ සිටින හැම කෙනෙකුම අඩු වැඩි වශයෙන් ඊට වග කියන්න ඕනි. එය තේරුම් ගන්නේ නැහැ.
රෙජි රණතුංග මැතිතුමා හැමවෙලේම වෙලාවට වැඩ කරපු කෙනෙක්. කිවුවොත් ඒ වෙලාවට එනවා. එන්න ප්‍රමාද වෙනවා නම් දැනුවත් කරනවා. එතුමා හැමදාම කිව්වේ පන්සලේ හරි කොහේ හරි වැඩක් කරනවා නම් එතැන ප්‍රධානියා මම නෙමෙයි මම දේශපාලඥයෙක් විතරයි, හමුදුරුවෝ තමයි ප්‍රධානියා කියලා. එතුමා හමුදුරුවන්ට මූලිකත්වය දුන්නා. සාමාජයට, නායකයින්ට ගරු කළා. රෙජී රණතුංග මහතා තැනට ගැලපෙන ආකාරයට කටයුතු කළා. එතුමන් හැමතැනටම ගැලපුනා. ඒක නිසා එතුමා සුදු ඇන්දට වරදක් නැහැ. සාමාජයේ සියළුම දෙනා ඇසුරු කළා. ඇසුරු කරන කෙනා, තමන් ඉදිරියේ ඉන්න කෙනා මොන විදිහද කියලා හඳුනාගෙන කුමන ආකාරයටද ඇසුරු කළ යුත්තේ යන්න පිළිබදව අවබෝධයක් රෙජී රණතුංග මහතාට තිබුණා.
ඒ වගේම එතුමා පක්ෂ මාරු නොකළ දේශපාලඥයෙක්. පිය පාර්ශවයෙන්, මව් පාර්ශවයෙන් දේශපාලන උරුමයක් නැති දේශපාලඥයෙක්. රෙජී රණතුංග මහතා. අනෙකුත් දේශපාලඥයින්ට බොහෝ ආදාර්ශයක් වුණ දේශපාලඥයෙක්. ගමට ආදරය කළ කෙනෙක්. එතුමාගේ ආභාවය දවසේ රැස් වුණු විශාල ජනකාය අදටත් මම තවම උඩුගම්පලදී දැක්කේ නැහැ. එතුමාගේ ආදාහනය නිදහස් චතුරස්රයේ මහ ඉහලින් ගන්න තිබුණා. නමුත් එතුමා සඳහන් කළේ ගමේ ජනතාවගේ සුවද දැනෙන තම ගමේ අවසන් කටයුතු සිදු කරන ලෙසයි.
88/89 භීෂණ කාලයේ අපි රෑ අටට යනවා තේ වත්තට. මහා ඉලුක් මාන කැලයක් ඒක. අපිට අඩන්න දෙන්නේ නැහැ, දෙමාපියෝ කට මිරිකගෙන ඉන්නවා. ඒ කාලය මිනිස්සුන්ට අමතක වෙන එක මහා පුදුමයක්. පාරේ බැහැලා යන්න බෑ. පණ පිටින් මිනිස්සු පුච්චනවා. දැන් ඉන්න දරුවෝ රටේ ඉතිහාසය, මේ ගැන දැන ගත යුතුයි. ඒවාට වග කිව යුත්තේ කවුද කියලත් අපි දන්නවා. වෛරයක් නැති වුණාට මහා පිළිකුලක් තියෙනවා. මිනිස්සුන්ට දුන්න වද, හිංසා, පීඩා මොන තරම්ද කියලා. එබදු යුගයක් තුළ මරණයට කැපවෙලා පුච්චන්න ඉන්න මේ පැත්තේ කොල්ලන්ව ගිහින් බේරගෙන ආවේ කවුද? ඒ රෙජී රණතුංග මහත්තයයි. හැන්සාඩ් වාර්තාව කියවපුවාම එතුමා ඒ කාලයේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. විවිඑධ මැති ඇමතිවරු ඒ ගැන සඳහන් කර තිබෙනවා. අදටත් ඒ මිනිස්සු ජීවත් වෙනවා. අදටත් ජීවත්වන මිනිස්සුන්ටත් ඒ දේවල් වල මුල අමතකයි නම් එය මනුස්සකමටවත් හොඳද කියලා මම කියනවා.
77 එතුමාගේ ගේ ගිනි තිබ්බා. එදා අසරණ වුණ ආකාරය මම කියන්න යන්නේ නෑ. මොකද ගම්වල ඉන්න ගොඩක් මිනිස්සු අද ඒ ගැන කියනවා. ධෛර්යවන්ත ස්වාමි දියණියක් වුණා නයනා නන්දනී රණතුංග මැතිණිය. එතුමිය රෙජී රණතුංග මැතිතුමාගේ හෙවනැල්ල වගේ ඉදලා රටක් ලෝකයක් වටිනා දරුවෝ හය දෙනා ලෝකයට සමාජ ගත කරන්න කටයුතු කළා. අපි ඒ කාලයේ එය දුටුවා. රෙජී රණතුංග මහතාට හිරිහැර කළ කිසිවකුට එතුමා කිසිවිටක වරදක් කළේ නෑ. එය බෝධිසත්ව චර්යාවක්. එතුමාව කිසිවකුට වට්ටන්නට බැරි වුණා. ප්‍රසන්න රණතුංග මහතාටත් මොන තරම් විනාශයක් වුණත් නැගී සිටින්න ශක්තියක් තිබෙනවා. නමුත් එදා තාත්තට ප්‍රසන්න රණතුංග මහතාට තිබෙන ශක්තිය නොතිබුණා වෙන්න පුළුවන්. තමන්ගේ ගේ ගිනි තියලා ආරක්ෂා වෙන්න නුගේගොඩට ගිහින් ඉන්න වෙලාවේ නඩුවක් දැම්මා නයිවල හන්දියේ වාහනයක් ගිනි තිබ්බා එතුමාව අත්අඩංගුවට ගන්න කියලා. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නටත් වැඩිය වගේ වැඩක් වුණේ. ඒත් එතුමා වට්ටන්නට බැරි වුණා.
ප්‍රසන්න රණතුංග ඇමතිතුමා රෙජී රණතුංග ඇමතිතුමාගේ ජානවලින් එන හොඳ පෞර්ෂවයක් එන තියෙන කොනෙක්. කවුරු මොන විදියටවත් කිවුවත්, කෑලී කෑලි වලට කැපුවත් ඔය ලබා දෙන නායකත්වය, කරගෙන ආ වැඩපිළිවෙල කුමන ආකාරයකින්වත් නවත්වන්නට එපා. ඔබතුමාටත් දැවැන්ත ශක්තියක් මිනිස්සුන්ගේ හදවත්වල තියෙනවා. විපතේදී පසු බසිනවා නම් විපතේදී දුර්වල වෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨ නායකත්වයක් නෙමෙයි. පෞර්ශවය ඇති කරගෙන ශක්තිමත්ව ගොඩ නැගෙනවා නම් එයයි ශ්‍රේෂ්ඨ නායකත්වය වන්නේ. අපි එය රෙජී රණතුංග මැතිතුමාගේ නායකත්වයෙන් දුටුවා”
මෙහිදී අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන් 30 කට රුපියල් ලක්ෂ 3 ක් වටිනා පොත්, බෑග්, පාවහන් වවුචර් සහ සෞඛ්‍ය උපකරණ කට්ටල, පවුල් 10 කට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සෙවණ නිවාස ආධාර හා පවුල් 32 කට රුපියල් ලක්ෂ 37 ක් වටිනා ”ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර සහ පවුල් 7 කට නොමිලේ ජල සබඳතා ලබා දීම සිදු කෙරිණි. එමෙන්ම විශ්ව විද්‍යාල වරම් ලැබූ උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ සිසුන් 17 දෙනෙකුට රුපියල් 5,000 ක් සමගින් සමූපකාර ග්‍රාමීය බැංකුවේ ගිණුම් පොත් ලබා දීමද මෙහිදී සිදු කෙරිණ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, මිනුවන්ගොඩ නගර සභාවේ හිටපු නගරාධිපති නීල් ජයසූරිය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි, එහි උප සභාපති ලක්ෂ්මන් ගුණවර්ධන, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක, එහි අධ්යක්ෂ ජනරාල් විජයානන්ද හේරත්, වෝටර්ස් ඒජ් හෝටලයේ සභාපති මලිත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.