69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරන්න වත්මන් ජනාධිපතිතුමා සමඟ වැඩ කරනවා…

  • 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරන්න වත්මන් ජනාධිපතිතුමා සමඟ වැඩ කරනවා…
  • අද රටේ ඇතිවී තිබෙන තත්ත්වය දෙස බැලීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරන්න පක්ෂය ගත් තීන්දුව ගැන සතුටුයි…
  • අපේ ගෙවල් ගිනි තිබ්බට අපි මිනිස්සුන්ට වෛර කරන්නේ නැහැ…
  • සුනාමියෙන් පස්සෙ ඉපදුණු අයට මහින්ද මහත්තයා කරපු දේවල් මතක නැහැ… (ඇමති ප්‍රසන්න රණතුංග)
  • ෆේස්බුක් ජනාධිපති අනුර කුමාරගේ පතිවත එළිවෙලා ඉවරයි…
  • ජේ.වී.පී,රැස්වීම්වල හිටපු අය දැන් අපේ රැස්වීමවලට එනවා…
  • රට ආර්ථික වශයෙන් ගොඩනැගෙනවා – අපි දේශපාලනිකව ගොඩනැගෙන්න ඕන…
  • හිටපු ජනාධිපතිතුමාට වෙච්ච දේ වත්මන් ජනාධිපතිතුමාට වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ…

    ( පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ වසරකට පෙර රට මුහුණ දී තිබූ තත්ත්වය හා අද ඇතිවී තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට පක්ෂය ගත් තීන්දුව සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පොළ දිස්ත්‍රික් ආසන බළමණ්ඩලය අමතමින් අමාත්‍යවරයා ඊයේ (18) මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අපි කවදාවත් වැඩිහිටියන්⁣ට නාකි මයිනා කියලා බනින්නේ නෑ. හොඳට හොයලා බලන්න. නාකි මයිනා, නාකින්ට වෛර කරන පොස්ට් දාන මිනිස්සුන්ගේ අභ්‍යන්තරය හොයලා බලන්න. ඔවුන් පුදුම කුහකයෝ. එක්කෝ දෙමාපියන්ගෙන් අතවරයට ලක්වෙලා, එක්කෝ දෙමාපියෝ නිසා අසාධාරණයට ලක් වුණ අය. වැඩිහිටියන්⁣ට වෛර කරන අය තමයි නාකි මයිනා කියලා බැන බැන අපේ වැඩිහිටියන් සමච්⁣චලයට ලක් කරන්නේ.

මම ආඩම්බරනයෙන් කියනවා මම රෙජී රණතුංග ඇමතිතුමාගේ පුතෙක්. අනුරාධට කට ඇරලා කියන්න පුළුවන් මම දී.මු ජයරත්නගේ පුතෙක් කියලා. ⁣තාත්තලා අම්මලා ගැන කියන්න බැරි උන් තමයි නාකි මයිනා කියලා කතා කරන්නේ.

77 දි. මු ජයරත්න ඇමතිතුමාට මුහුණ දෙන්න සිද්ධ වුණ දේවල් මම දන්නවා. 77 දී මගේ පියාගේ ගෙවල් ගිනි තිබ්බා. 2022 දී මගේ ගේ ගිනි තියනවා. අපිට මේවා පුරුදුයි. අපි මිනිස්සුන්ට වෛර කරන්නේ නෑ. මේ දේවල් කරන්නේ සමස්ථ සමාජයේ මිනිස්සු නෙමෙයි. මේ දේවල් කරන්නේ කුහකයෝ ටිකක්. මේ දේවල් කරන මිනිස්සු කවදා හරි දඩුවම් ලබනවා.

වසර 30ක් තිබූ යුද්ධය 2009 ඉවර කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා 2015 දී පරාජයට පත්වෙනවා. අවුරුදු 05 ක් ගියේ නෑ අපේ මිනිස්සුන්ට ඒ යුද්ධය අමතක වුණා. අමතක වුණා නෙමෙයි බොරු කියලා සමාජය තුළ වෛරයක් ජනගත කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජයට පත් කරන්න කටයුතු කළා.

අද අපිට පාරක බැහැලා කෝච්චියක, බස් එ⁣කක යන්න පුළුවන් වාතාවරණයක් හැදුවේ කවුද කියලා අපි දන්නවා. සුනාමියෙන් පස්සෙ ඉපදිච්ච වුන්⁣ට ඒවා මතක නෑ.

එදා අපේම අය බය වුණා නුගේගොඩ වේදිකාවට යන්න.  නොයෙකුත් තර්ජන ගර්ජන එනකොට හැමෝම මහින්ද මහත්තයාව දාලා ගියා. එදා මම මහා ඇමතිවරයා ලෙස මගේ නිල නිවාසයේ ඉදගෙන තමයි මහින්ද සුළඟ ආරම්භ කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපි සටන ආරම්භ කලේ. මම අදටත් සතුටුයි එදා ඒ කරපු කාර්යය භාර්යය පිළිබඳව.

අපි 2015 පැරදිලා 2019 වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළා .එදා පළාත් සභා මන්ත්‍රීවරුන් එක්ක අපි මුළු රටේම ඇවිදලා පළාත් පාලන මන්ත්‍රීවරුන් එකතු කරගෙන ග්‍රාම සේවක වසම ගානේ මුළු රටේම ඇවිදලා ග්‍රාම සේවා වසමකින් 20ක් එකතු කරගෙන හදපු පක්ෂයක් තමයි මේක.

මේ පක්ෂය කාගෙත් බූදලයක් නෙමෙයි. මේ පක්ෂය අපේ. මේ පක්ෂය තමුන්නාන්සේලාගේ. මෙ පක්ෂය වට්ටන්න කිසිම  ජගතෙකුට බෑ.

මීට වසරකට පෙර සුනාමියක්  ගෙවල් ගිනි තිබ්බා. අමරකීර්ති අතුකෝරල මැතිතුමාව ඝාතනය කළා. අපිව පත් කළ 69 ලක්ෂයක ඡන්දයකින් පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තනතුර දාලා යන්න සිද්ධ වෙනවා. ඒ හැම අභියෝගයකටම මුහුණු දුන්න පිරිසක්  තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්නේ. අපි පක්ෂයක් ලෙස ශක්තිමත් වුණා.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දෙන අපේ නායකයෝ කවදාවත්ම මිනිමරලා නෑ. මේ රට විනාශ කරන්න කටයුතු කරලා නෑ. ඔවුන් හැමදාම මේ රට රැක්කා. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බේර ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලෝකයේම මිනිස්සු  කොවිඩ් වසංගතයෙන් මැරෙනකොට අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කළා. එදා රට වහනවද, නැද්ද කියල⁣ වෛද්‍යවරුන්, ආර්ථික විශේෂඥයන් විවිධ මත පළකරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වේ ආර්ථිකය වැටුනොත්  ගොඩ ගන්න පුළුවන්. මිනිස්සු මැරුණොත් මිනිස්සුන්ට පණ දෙන්න බෑ. අපි ටික කාලෙකට රට වහලා මිනිස්සුන්ට එන්නත් ටික දිලා මිනිස්සු සුරක්ෂිත කරලා අපි රට අරිමු කියලා.  එකපාර එවැනි තීන්දුවක් ගත්තේ මිනිස්සු නිසයි.

 එතුමා බලයට ඇවිල්ලා මාස නවයයි වැඩ කරන්න පුළුවන් වුණේ කොවිඩ් වසංගතය හමුවේ රට වැටුනා. ඉන්පසු අරගලය නිසා රට වැටුනා. ආර්ථික අර්බුදය එක්ක ජනතාවට පීඩාවට පත්වෙද්දි මිනිස්සු විකල්ප මාර්ග හොයන්න ගත්තා.  සුනාමිය එනකොට මහ ගස් පාවා වැටිලා කෙලින් වෙනවා. කුඩා ගස් වැටිලා කෙලින් වෙනවා. සමස්තයක් ලෙස තිබුණට වඩා ශක්තිමත් වෙනවා ගස් වැල්. ඒ වගේ තමයි අපේ පක්ෂය. සුනාමිය නිසා වැටුණා අවුරුද්දක් යනකොට අපිට පුළුවන් කමක් ලැබුණා නැවත පණ ගන්නලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කරන්න. එකේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ.

අරගලෙ ඉවර වෙලා සති දෙක තුනක යන්න කලින් මම පාර්ලිමේන්තුවේ දී කිව්වා අරගලය කරේ කවුද කියලා. අරගලේට මිනිස්සු ආවේ පීඩාවට පත්ව අසරණ වූ නිසයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න කටයුතු කළේ රාජ්‍ය නොවන සංවිධානයි, බෞද්ධ ආගමික විරුද්ධ කණ්ඩායම් එකතු වුණා. ගම්මට්ටිමින් ප්‍රශ්න ඇති කරන්න මිනිස්සු එළියට ගත්තා.  අවසානයේදී මිනිස්සු එයින් ඉවත් වෙද්දි ඒක පාලනය කරන්න ගත්තේ ගණිකාවොයි, මංකොල්ලකාරයොයි, පාතාල නායකයොයි. අපිට තිබිච්ච ලෙකුම විරුද්ධවාදීන් ඒ කණ්ඩායමයි.

මේ රටේ කුඩු විනාශ කරන්න හැදුවා. එය නවත්තන්න ගෝඨාභය මහත්තයා කටයුතු කරන කොට අපිට හිටිය විරුද්ධවාදී කණ්ඩායම තමයි කුඩුකාරයෝ. පාතාලය විනාශ කරනකොට පාතාල නායකයෝ අපිට විරුද්ධ වුණා. පාතලයයි කුඩු කාරයින් නිසා යැපිච්ච ගණිකාවන්ට යන එන මෙන් නැති වුණා. එයාල තමයි අවසානයේ ගෝල්ෆේස් අරගලයේ නායකත්වය ගත්තේ. අරගලයේ හිටපු මිනිස්සුම අද ඒ ගැන කියනවා.

අරගලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපති කරන්න පක්ෂයක් ලෙසයි තීන්දුවක් ගත්තේ. අද අපි ඒ තීන්දුව ගත්ත එක ගැන සතුටු වෙනවා. අවුරුද්දක කලින් මේ රටේ තිබුණ තත්ත්වය දිහා බලද්දි අද ආර්ථිකමය අතින් රට ගොඩ ගන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම තරම් බැනපු කෙනෙක් නෑ. මම තමයි යහපාලන ආණ්ඩුවට විරුද්ධව ප්‍රසිද්ධ වේදිකාවල්වල විවේඡනය කළේ. අපි හැම තිස්සෙම පක්ෂයට වඩා රට ගැන හිතන, කටයුතු කරන කණ්ඩායමක් නිසා අපි තීන්දු කළා අභියෝග භාර ගෙන රටේ ආර්ථික ගොඩගනගලා අනාගතය හදන්න පුළුවන් නායකයෙක් නිසා වත්මන් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. අපේ පෞද්ගලික දේශපාලන මති මතාන්තර මොන දේ වුණත් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවුරුද්දක් ඇතුලත පෝලීම් වල තිබුණ අර්බුදය අවසන් කළා. මේ රටේ විදුලිබල අර්බුදයට විසදුම් සොයන්න කටයුතු කළා.

69 ලක්ෂයක අපිට ඡන්දය දීපු මිනිස්සුන්ට වගකියන වගකීම අපිට තියෙනවා. ඒ බලාපොරොත්තු ඉටු කරන්න වර්තමාන ජනාධිපතිතුමා සමඟ එක්ව අප කටයුතු කරනවා.

ඉදිරියේ පැවැත්වෙන ඕනිම මැතිවරණයකට අපි සුදානම්. අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු පක්ෂයක් ලෙස කටයුතු කරගෙන යනවා යැයිද පැවසීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය.

සුරංනා කතා ඕන කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් රටට, ගමට වැඩක් වුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදියි. ගමේ කොල්ලට, කෙල්ලට රස්සා ලැබුනේ ඒ කාලෙදියි. කළගුණ දන්න ඔබට ඒ බව මතකයි. සමඟි ජන බලවේගය, සජිත් ප්‍රේමදාස මහත්තය ගැන කතා කරල වැඩක් නෑ. ඒක නිකං කාලය කා දැමීමක්. හෙට අනිද්දට ඔහුගේ 60,70ක පිරිසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ඉඳගනීවි. ඔහුට තමන්ගේ සගයෝ ටික තියාගන්න බෑ.

 ⁣ෆේස්බුක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පතිවත දැන් එළිවෙලා ඉවරයි. ඒක නිසා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වල හිටපු මිත්‍රයොත් අද අපේ රැස්වීමට ඇවිල්ලා.

අද රට ආර්ථික වශයෙන් ගොඩ නැගෙමින් තිබෙනවා. අපි දේශපාලනිකව ගොඩනැගෙන්න ඕන.අපි ගමට ගිහිල්ලා පක්ෂය ශක්තිමත් කරලා, ඕනෑම මැතිවරණයකදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවන්න කටයුතු කරමු.

කොවිඩ්19 ව්‍යාප්තිය සමඟ ලෝකයේම ආර්ථිකය කඩා වැටුණා.හැබැයි ඒ ආර්බුධය හරහා විවිධ කල්ලි,කණ්ඩායම් කටයුතු කළා.අවසානයේදී එය අරගලයක් දක්වා දිගුවුණා. ඒ අරගලයට නායකත්වය දුන්න මිනිස්සුන්ගේ ගිණුම්වලට පිටරටින් ඩොලර් ලැබුණ බව දැන් හෙලිවෙලා තිබෙනවා.

එදා අභියෝගය භාරගන්න හිටපු ජනාධිපතිවරයා සජිත්ට ආරාධනා කළා. නමුත්  පාර්ලිමේන්තුවේ කෑ ගැහුවට අභියෝගය භාර ගන්න තරම් කොන්දක් විපක්ෂනායකතුමාට තිබුණේ නැහැ. අභියෝගය භාරගන්න ඉදිරියට ආවේ රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අද වනවිට මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් එතුමා නිර්මාණය කරලා තිබෙනවා.

මේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අවශ්‍ය සහාය වත්මන් ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි ලබාදෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න අපි ඉඩ තියෙන්නේ නැහැ. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මිනිස්සුන්ගෙ ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා මැතිවරණ කාලෙට අපි දේශපාලනය කරමු යැයිද පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය වන ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *