22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දළදා පෙරහරේ ලයිට් බිල රජය ගෙවයි

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට වැය වන මුදල දළදා මාලිගාවෙන් හා සතර මහා දේවාලවලින් අය නොකර, රජය විසින් දැරීමට තීරණය කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පැවසීය. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (10) දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැඟිල්ලේ පැවැති සාකච්ඡාවේදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

පෙරහර වීදී සංචාරය කරන දින 10ට අදාළව විදුලි බල මණ්ඩලය මඟින් ශ්‍රී දළදා මාලිගාවට සහ සතර මහා දේවාල සඳහා ඇස්තමේන්තු විදුලි බිලක් ඉදිරිපත් කළ අතර, එය ගෙවිය නොහැකි බව සතර මහා දේවාල බස්නායක නිලමේවරු පැවසූහ. පෙරහර මංගල්‍යය සඳහා විදුලි ආලෝකය සැපයීම සඳහා රු. එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහසක ඇස්තමේන්තුවක් විදුලි බල මණ්ඩලය මඟින් ඉදිරිපත් කර තිබූ අතර, මෙයට පෙර ඒ ආකාර ඇස්තමේන්තුවක් දේවාලවලට නොලැබුණු බව බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා කීය.

විදුලි බල මණ්ඩලය මගින් ඉදිරිපත් කළ ඇස්තමේන්තු මුදල සාකච්ඡා මඟින් පසුව රු. ලක්ෂ 71 දක්වා අඩු කරගත් බවත්, එම මුදල රජය දරන බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. මේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමි, ශ්‍රී දළදා මාලිගාවේ දියඩවන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, නාථ දේවාල බස්නායක නිලමේ ශානක බණ්ඩාරනායක, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන් රත්වත්තේ, කතරගම දේවාල බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ, පත්තිනි දේවාල බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz