ජාතික කර්මාන්ත විශිෂ්ඨතා සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ නෙලුම් පොකුණ රගහලේදී.

අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් ව්‍යවසායකයන් බල ගැන්වීම සදහා කර්මාන්ත අමාත්‍යාංශය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලැබූ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023 නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වුනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනු මෙම සම්මාන ප්‍රධානෝත්සවයේදී, කර්මාන්ත ව්‍යවසායකත්ව 300 ක් සදහා සම්මාන ලබාදුන් අතර එහිදී ලෝකඩ සම්මාන 84 ක්, රිදී සම්මාන 96 ක් රන් සම්මාන 99 ක් මූලික අදියරන්හි පිරිනැමුණු අතර රන් සම්මාන කාණ්ඩයේ මහා පරිමාණ කර්මාන්ත වෙනුවෙන් රන් සම්මාන 17 ක් සහ ප්ලැටිනම් සම්මානයන් 4 ක් ජනාධිපතිවරයා අතින් පිරිනැමුණි.

කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන කාණ්ඩ 21 ක අනුකාණ්ඩ 67 යටතේ ලංකාවේ සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍ෂද්‍ර, සුළු, මාධ්‍ය හා මහා පරිමාණ යන ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරිපත් වූ තරගකාරී කර්මාන්ත ව්‍යවසායකත්ව 4000 කට අධික ප්‍රමාණයක් අතුරින් විශ්වවිද්‍යාල අචාර්ය, මහාචාර්යවරුන්, කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රජයේ ප්‍රමුඛ පෙළේ ආයතන නිලධාරින් ඇතුළු විසි දෙනෙකුගෙන් සැදුම් ලත් විද්වත් ප්‍රවීන විනිසුරු මඩුල්ලක් මගින් මෙම ජයග්‍රාහී කර්මාන්ත ව්‍යවසායකත්ව තෝරා ගැනීම සිදුකොට තිබිණි.

මෙම අවස්ථාවේදී, මෙරට කර්මාන්ත සංස්කෘතියක් ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කර්මාන්ත වෙනුවෙන්ම වෙන්වූ නාලිකාවක් ලෙසින් ආරම්භ කෙරෙන ‘Industry TV’ නාලිකාව ජනගත කිරීම ද ජනපතිවරයා අතින් සිදුකෙරුණු අතර එහි විකාශන කටයුතු නොවැම්බර් 21 වෙනිදා සිට Peo TV අංක 130 ඔස්සේ සිදුකිරීමට නියමිත‍ය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ලංකා කාර්මික මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම ඇතුළු ආයතන සභාපතිවරුන්, රාජ්‍ය නිළධාරින්, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්, ප්‍රමුඛ කර්මාන්ත ව්‍යවසායකත්වයන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *