“වයස අවුරුදු 12ත් 13ත් අතර පසුවන දුෂ්කර ප්‍රදේශවල ඇතැම් දරුවන් පාසල් අධ්‍යාපනය අත්හැරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් පෙන්වා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැඩි අවධානයක් යොමු කළ යුතුයි”
– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 42 වැනි පියවර යටතේ මාතලේ, ලග්ගල නුගගොල්ල මහා විද්‍යාලයේ දරුවන් සඳහා රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ඇමති පුටු මාරුව පිටුපස, ගජ මිතුරෙකුට සෙවනගල විකිණීමේ සූදානමක් ක්‍රියාත්මක බවයි.
ජනාධිපති, අගමැති ඇතුලු රජය යනු රටේ තාවකාලික බාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බවත්, එහෙත් වත්මන් රජය ක්‍රියා කරන්නේ මේ රටේ සින්නක්කර අයිතියක් බුක්ති විඳින ආකාරයට බවත් විපක්ෂ නායක මහතා කියා සිටියා.
පසුගිය සමයේ ජාතික පාසල්වල එක් නාම පුවරුවක් නිර්මාණය සඳහා පමණක් ලක්ෂ 20ක මුදලක් ලබාදී ඇති බවත්, එම මුදල් යොදවා පාසලට නාම පුවරුවකට එහා ගිය සේවාවක් සිදු කළ හැකිව තිබූ බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, සෑම ක්ෂේත්‍රයකම සිදුව ඇති දූෂණය, වංචාව නතර කිරීමට විනිවිද භාවය, වගවීම සහ නීති පද්ධතිය ශක්තිමත් කිරීම ප්‍රමුඛ කටයුත්තක් බවයි.