මධ්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් අය විය යුතු හිග මුදල රුපියල් මිලියන 6,721ක්.


බදු වැඩි කිරීමට ආසන්න සමයේ සීනි ආනයනයේ අසාමාන්‍ය වෙනසක් නැහැ.
ආනයන සමාගම් අතිරේක ලාභයක් ලබා ඇත්දැයි සෙවීමට විගණනයක්.
රට තුළ ප්‍රමාණවත් තරම් සීනි තොග – හිගයක් ඇතිවීමේ අවධානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි.

සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ නැවීමට ආසන්න සමයේ දී සීනි ආයනයේ අසාමාන්‍ය වෙනසක් නිරීක්ෂණය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෙසේ මෙම බදු වැඩි කිරීම හේතුවෙන් ආනයනකරුවන් විසින් අසාමාන්‍ය ලාභයක් උපයා ඇත් ද යන්න සොයා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විගණනයක් ආරම්භ කර ඇති බවයි. විපක්ෂ නායකවරයා විසින් ස්ථාවර නියෝග 27 (2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.

2023 වසරේ මේ දක්වා කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 546,488ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. රේගු වාර්තාවලට අනුව වසරේ මුල් මාස පහට සාපේක්ෂව සෙසු මාසවල සීනි ආයනයනේ අඩුවක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. බද්ද පනවන දිනය වන විට සීනි මෙට්‍රික් ටොන් 35,000ක් පමණ ආනයනය කර තිබූ අතර එය හිගයකින් තොරව සීනි ලබා දීම සඳහා ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බදු ඉහළ දැමීම මගින් එවකට පැවැති සීනි තොගවල මිල ඉහළ දැමීම වැලැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය මගින් උපරිම සිල්ලර මිලක් නියම කළ අතර එය මේ වන විට නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

කිසියම් සමාගමක් සීනි ආනයනයෙන් අතිරේක ලාභයක් ලබා ඇත්ද සොයා බැලීම සහ එසේ ලාභයක් ලබා ගෙන එය ආදායම් බදු ගණනයේ දී සැලකිල්ලට ගෙන නොමැති නම් අතිරේක බදු අය කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් විගණනයක් ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා පැවැසීය. අදාළ විගණනයෙන් පසු සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවයි සියඹලාපිටිය මහතා වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර මධ්‍යසාර නිෂ්පාදන සමාගම් පහක් විසින් රුපියල් මිලියන 2,715ක් හිග බදු ලෙස රජයට ගෙවීමට ඇති බවත් ගෙවීම් ප්‍රමාදය නිසා මාසිකව අයකරන 3%ක දඩ මුදලත් සමග එය රුපියල් මිලියන 6,721ක මුදලක් බවත් අමාත්‍යවරයා පැවැසීය. නියමිත දිනට බදු මුදල් නොගවීම හේතුවෙන් අදාළ සමාගම් පහෙන් හතරක බලපත්‍ර දීර්ඝ කර නොමැති අතර එක් සමාගමක් පමණක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ ඇති බැවින් එහි ඊළග නඩු දිනය යෙදෙන නොවැම්බර් මස 13 වැනිදා දක්වා අදාළ බලපත්‍රය දීර්ඝ කර ඇත.

අදාළ සමාගම් වෙත බදු මුදල් ගෙවා දැමීම සඳහා ගෙවීම් සැලසුමක් ලබා දී ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටිියේ හිග බදු ගෙවීම සඳහා දෙසැම්බර් මස 29 දා දක්වා කල් ලබා දී ඇති බවයි.

මේ අතර රජය විසින් හඳුන්වා දුන් අත්තිකාරම් පුද්ගල ආදයම් බද්ද මගින් වසරේ මුල් මාස නව තුළ පමණක් වසරේ අපේක්ෂිත ඉලක්කය වූ රුපියල් බිලියන 100 ඉක්මවා යමින් රුපියල් බිලියන 107.1ක ආදායමක් ලැබී ඇතැයි අමාත්‍යවරයා පැවැසීය. ඉදිරි මාස තුන තුළ එය පුරෝකතනය කළ විට රුපියල් බිලියන 150ක ආදායමක් ළගා කර ගත හැකි අතර එය ඇස්තමේන්තුගත ආදායමේ 150%ක වර්ධනයක් බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *