සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරයෙන් ජීවය ලැබූ නාගොල්ලාගම – රත්මලේ මහ වැව ගොවි ජන අයිතියට පත් කරයි

කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ  සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම රත්මලේ මහ වැවයි.

මෙරට ගොවි පවුල් රැසක නිජභූමියක් වූ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව, නාගොල්ලාගම, රත්මලේ ගම් පියස කේන්ද්‍ර කොට ගනිමින් ප්‍රදේශයේ කෙත්වතු සාරවත් කරමින් සුවිසල් සේවාවක් ඉටු කළ රත්මලේ මහ වැව සහ එම වැව් පද්ධතිය කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පැවතියේ ගොවි ජනතාවගේ ජීවනෝපායටද, ඔවුන්ගේ ආර්ථිකයටද අවාසනාවන්ත කාලයක් උදා කරමිනි. අක්කර 35ක් පුරා විහිදුණු සුවිසල් වාරි පද්ධතියක් වූ රත්මලේ මහවැවෙහි රඳවා ගත හැකි ජල ප්‍රමාණය ඉතා අවම මටට්මකට පත්වන විට වැවෙහි තත්වයද අවධානම් මට්ටමකට පත් විය. තව දුරටත් යල මහ දෙකන්නම වගා කිරීමට වැව් දියෙන් සරණක් නොවූ කල වැව ප්‍රතිසංස්කරණයේ වගකීම සම්පත් බැංකුව වෙත පැවරීමට රත්මලේ මහවැව පැරකුම් ගොවි සංවිධානය කටයුතු කරනු ලැබුවේ බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරය පිළිබඳ ඔවුන් තැබූ විශ්වාසය නිසාමය.

ගොවි ජනතාවගේ ඉල්ලීම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් රත්මලේ මහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්පත් බැංකුව මඟින් ආරම්භ කළ අතර ඒ අනුව එතෙක් වැව ආක්‍රමණය කරමින් තිබූ ජලජ ශාක ඉවත් කොට වැඩි ජල ධාරිතාවක් රඳවා ගැනීම වෙනුවෙන් වැව ගැඹුරු කිරීමේ කටයුතු සිදු කරන ලදී. එතෙකින් නොනැවතී එතෙක් අබලන්ව පැවති වැවෙහි බැම්ම පිළිසකර කරමින් වැවෙහි දරා ගැනීමේ ශක්තිය යලි ලබා දුන් සම්පත් බැංකුව වැවෙහි දියවර කෙත්යාය වෙත ගෙන යනු ලබන ඇල වේලි පද්ධතියද ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරනු ලැබුවේ ගොවි ජනතාවට කරදරයකින් තොරව සිය ජීවිකාව සරිකර ගැනීමේ අවස්ථාව උදා කර දෙමිනි.

ඒ ආකාරයෙන් අභාවයට යමින් පැවති රත්මලේ මහ වැව ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රතිසංස්කරණය කරමින් පරිපූර්ණ වාරි පද්ධතීන් බවට පත් කිරීමේ මහඟු කාර්යයට උරදුන් සම්පත් බැංකුව ඒවායේ සැබෑ හිමිකරුවන් වූ ගොවි ජනතාව වෙත පවරා දීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ ගමටත් ගොවි ජනතාවටත් උදා වන නව වසරට ආශිර්වාද කැන්දාගෙන එමිනි.

මින් නොනවතී ගොවිජන දෙපාර්තමේන්තුව සමඟ එක්ව තවත් සුවිසල් කටයුත්තකට රත්මලේදී ආරම්භක පියවරක් තැබීමටද සම්පත් බැංකුව කටයුතු කරන ලදී. ඒ රත්මලේ ගම්මානයේ කාන්තාවන් මුල්කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා පුනර්ජීව නිෂ්පාදන ගොවි සමිතිය පිහිටුවීමත් ඒ තුලින් රත්මලේ ගම්මානය බිම්මල් වගා ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමත්ය. ඒ සඳහා වන මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා සම්පත් බැංකුව විසින් අදාළ අරමුදල් ගොවි සමිතිය වෙත ලබා දීමද මෙදින සිදු විය. මෙසේ පිහිටුවනු ලැබූ පුනර්ජීව නිෂ්පාදන ගොවි සමිතිය, කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලද ප්‍රථම නිෂ්පාදන ගොවි සමිතිය වීමද විශේෂත්වයකි.

එම අවස්ථාවට එක් වෙමින් අදහස් පළ කළ සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ  මහතා “අද දිනය සම්පත් බැංකුවට පමණක් නොව මේ ප්‍රදේශයේ ගොවි ජනතාවටත් ඉතා සුවිශේෂී දවසක් වනු නිසැකයි. විශේෂයෙන් සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් යළි ජීවය ලබමින් ගොවි ජනතාවගේ කෘෂි කාර්මික කටයුතු වෙනුවෙන් යළි පවරනු ලබන මෙම වාරි පද්ධතිය ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ප්‍රමුඛ සාධකයක් වනු ඇතැයි අපගේ විශ්වාසයයි. මෙම ව්‍යාපෘතිය මේ අයුරින් සාර්ථකව අවසන් කිරීමට දායකත්වය ලබා දුන් සම්පත් බැංකුවේ කාර්ය මණ්ඩලයටත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනයන්ටත්, ගොවි සංවිධානයේ නිලධාරීන් හා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් සියලු දෙනාටත් මාගේ ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මේ වන විටත් වාරි පද්ධති කිහිපයක් ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. ඉදිරියේදී එම වාරි පද්ධතීන්ද මේ ආකාරයෙන් ගොවි ජනතාව වෙත පවරා දීමටත් අභාවයට යමින් පවතින වැව් හඳුනාගනිමින් එම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ දීර්ඝ කාලීන වැඩසටහන ඉදිරියට කරගෙන යාමට සම්පත් බැංකුව කටයුතු කරනවා.” යනුවෙන් පවසා සිටින ලදී.

සම්පත් බැංකුව විසින් මීට දශක දෙකකට පමණ පෙර ආරම්භ කරනු ලැබූ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක ව්‍යාපෘතියෙහි අරමුණ වූයේ අභාවයට යමින් පවතින සාම්ප්‍රදායික වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් රටට බත සපයන වියළි කලාපයේ ගොවි ජනතාවගේ ආර්ථිකය සවිමත් කිරීමට අවැසි කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් දායක වීමයි. විශේෂයෙන් යල හා මහ යන දෙකන්නයම අස්වැද්දීමට අවශ්‍ය දියවර සැපයීම වෙනුවෙන් වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන අතරම ග්‍රාමීය ආර්ථික දියුණුව ඉහළ නැංවීමටද හැකියාව උදා වේ. එසේම පාරිසරික වශයෙන්ද පරිපූර්ණ වැවක වැදගත්කම මෙහිදී අවධානයට ලක්ව ඇත. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් හා සමපාත වන මෙම වැඩසටහන තුළින් කෘෂි කර්මාන්තය, කෘෂි ව්‍යවසායකත්වය නගා සිටුවීම පමණක් නොව වෙනත් විවිධ ජීවනෝපායන් වෙතද ධනාත්මක බලපෑමක් එල්ල වේ.

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100% ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීන තාක්ෂණය භාවිත කරනු ලබන මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අද වන විට වෙළෙඳපොල ප්‍රමුඛයකු ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය හා ස්පර්ශ කිරීමකින් තොරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ආපසු ගැනීම (Touch-less Cash withdrawal) ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදුකර ඇති සම්පත් බැංකුව දේශීය සම්ප්‍රදායන්ට හා වටිනාකම්වලට අනුකූලව යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීඅලෙවිකරණ හා පාරිභෝගික සබඳතා තාරක රන්වල මහතා විසින් වැවට ජීවයක් වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ රත්මලේ මහ වැවෙහි සොරොව් දොර විවර කරමින් මංගල දියවර මුදා හැරි අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *