ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය.

• ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය ප්‍රවර්ධනයට සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වැඩසටහන් සඳහා එක්සත් ජාතීන්ගේ සහාය.
– එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් (ASG) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් අද (2024.01.04) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
විග්නරාජා මහත්මිය ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන සංවර්ධනය සඳහා ගෙන ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රසාදය පළ කළ අතර UNDP යටතේ අඛණ්ඩ සහාය ලබා දෙන බවට සහතික විය. එතුමිය ශ්‍රී ලංකාවේ පීඩිත ජනතාව සවිබල ගැන්වීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාරය පැසසුමට ලක් කළාය. ‟ රටේ ආන්තික ජනතාව නඟා සිටුවීම සඳහා පසුගිය වසර 30 හෝ 40 තුළ ක්‍රියා කිරීමේ ඔබගේ ස්ථාවර ප්‍රතිපත්තිය අපි ඉතා අගය කරමු.” යැයි ඇය පැවසුවාය.
ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශයේ නවීකරණය, දේශගුණික විපර්යාස, හරිත ආර්ථිකය, ජලය සහ ඒ ආශ්‍රිත අනෙකුත් සංවර්ධන ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරිණි.
ආර්ථික ප්‍රකෘතිය සඳහා ගෙන ඇති පියවර සහ දීර්ඝ කාලීන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගෙන ඇති වැඩසටහන් පිළිබඳව මෙන්ම බදු පදනම පුළුල් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඇයව දැනුවත් කළේය.ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රමය ද විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඩිජිටල්කරණය වන අතර එය දේශීය ප්‍රසම්පාදන සඳහා මෙම වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වේ. ජාත්‍යන්තර ලංසු සඳහා නව ක්‍රමය සැප්තැම්බර් මාසයේදී ක්‍රියාත්මක වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන අය මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *