රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට අණපනත් ඉදිරිපත් කරන්නේ නැහැ

අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ මේ රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා ඊයේ (28)මීගමුව ප්‍රදේශයේ පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

“යුක්තිය මෙහෙයුම තුළින් රට පුරා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන, මත්ද්‍රව්‍ය බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදුවන අවස්ථාවේදී වැඩ බලන පොලිස්පතිතුමාටත් අමාත්‍යවරයා ලෙස මටත් දිගින් දිගටම විවිධ ආකාරයේ බාධාවන්වලට මුහුණ දීමට සිදුව තිබෙනවා. අතලොස්සක් නීතිඥවරුන් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් වලින් යැපෙන පිරිස් මේ මෙහෙයුම කඩාකප්පල් කිරීම සඳහා විවිධ ආකාරයේ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අපහාස සිදු කරනවා. රාජ්‍ය නොවන සංවිධාන වල ඇතැම් නියෝජිතයින් සමග එක්ව ජාත්‍යන්තරයට විවිධ පැමිණිලි සිදු කරනවා. ඒ අනුව පසුගිය දිනෙක එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින්ද මෙම මෙහෙයුම නතර කරන ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නමුත් රටේ සමස්ත ජනතාවම ඉල්ලා සිටින්නේ මෙම මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන ලෙසයි.

මේ අපේ රට. අපි අපේ රටේ පනත් ඉදිරිපත් කරන්නේ අපට අවශ්‍ය ආකාරයට මේ රටට ගැලපෙන ආකාරයට මිස ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට නොවේ. මා මෙම අමාත්‍ය ධුරය දරන තාක් ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන බව ප්‍රකාශ කරන්නට කැමතියි. සමාජ මාධ්‍ය තුළින් රටට එරෙහිව කටයුතු කරන ඇතැම් කුහකයින් පමණක් මේ මෙහෙයුම අඩපණ කිරීමට උත්සාහ දරනවා. දිගින් දිගටම සිදුවන මරණ තර්ජන වලට පවා මුහුණ දෙමින් අප මේ උත්සාහ කරන්නේ රටේ අනාගත දරු පරපුර සුරක්ෂිත කිරීමටයි. ජාවාරම්කරුවන්ගේ, අපරාධකරුවන්ගේ කිසිදු බලවේගයකට අප නතර කිරීමට හැකියාවක් නැහැ. අපරාධකරුවන්ගේ මිලියන ගණනක් මුදල් මත යැපෙන ඇතැම් නීතිඥයින් ඇතුළු පිරිස් උත්සාහ කරන්නේ අප සිදු කරන වැඩපිළිවෙල කෙසේ හෝ කඩාකප්පල් කිරීමටයි. අවශ්‍ය අවස්ථාවේදී රටේ ජනතාව ඔවුන්ට නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව මා විශ්වාස කරනවා. ජූනි 30 වන විට රට තුළ සම්පූර්ණ වෙනසක් සිදු කිරීමට අප කටයුතු කරනවා. රටට බරක් වූ අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රටින් තුරන් කළ යුතුයි. අපරාධ වලින්, මත්ද්‍රව්‍ය වලින් රට බේරා ගැනීමේ එකම අරමුණකින් යුතුව අප කටයුතු කරනවා.

එමෙන්ම දරුවන් සහ කාන්තාවන් වෙත සමාජයෙන් සිදුවන විවිධ ආකාරයේ අපචාර ක්‍රියා මර්ධනය පිළිබඳව ද අපේ විශේෂ අවධානය යොමු වෙනවා. පසුගිය කාලය තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඇතුළු දර්ශන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනවා. මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය නීති රීති දැඩි කළ යුතුයි. ඒ වෙනුවෙන් පනතක් ඉදිරිපත් කළ අවස්ථාවේ සෑම දෙසින්ම ඊට එරෙහිව ප්‍රහාර එල්ල වුණා. නමුත් අවසානයේ අප පනත සම්මත කරගත්තා. නිවැරදිව සමාජ මාධ්‍ය හසුරුවන කිසිවෙකු මේ පනතට බිය විය යුතු නැහැ. සත්‍ය කරුණු සමග නොබියව තමන්ගේ මතය ඉදිරිපත් කළ හැකියි. ඕනෑම අයෙකු විවේචනය කළ හැකියි. රජය විවේචනය කළ හැකියි. නමුත් අසත්‍යය පැතිරවිය නොහැකියි. කාන්තා හිංසනය, ළමා අපචාරවල නිරතවන, අසත්‍ය ප්‍රචාර පතුරුවන පිරිස් මීට බිය විය යුතුයි. නිවැරදිව කටයුතු කරන කිසිවෙකුත් ඊට විරුද්ධ වේ යැයි මම සිතන්නේ නැහැ. සියලු මාධ්‍ය තුළින් රටට ලබාදිය යුත්තේ සත්‍යයි.”

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *