මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් සහභාගි කරවාගැනීම සම්බන්ධවයි.

2024 වර්ෂයේ සැප්තැම්බර් මස 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් සහභාගි  කරගැනීම පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට විවිධ පාර්ශවයන්ගෙන් පැමිණිලි ලැබී ඇත.  මේ පිළිබඳව  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇති අතර, ඊට අදාළ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇත.

තවද  වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඔවීම  මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් යොදාගෙන  මෙම මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා සහභාගී වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් සහභාගිකර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ  කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇත. එවන් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පවතින හෙයින් එකී වගකීම් නොපමාව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවටද දන්වමු.

ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් තබා එහි පාර්ශවකරුවෙකු බවට පත්ව ඇති අතර, එම ප්‍රඥප්තියේ දක්වා ඇත්තේ දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු සියළු පාර්ශවයන් ළමයින්ගේ ආරක්ෂාව තහවුරුකොට ඔවුන්ගේ උපරිම යහපත සැලසීමට බැඳී සිටින බවයි. එම නිසා, ළමයින්ගේ ආරක්ෂාව සහ උපරිම යහපත සැලසීම සියළුම පාර්ශවයන්ගේ වගකීමක් ලෙස සලකා, මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සියලුම දෙමව්පියන්ට,භාරකරුවන්ට, සහ සම්බන්ධිත පාර්ශවයන්ට  සහ සියලු දේශපාලන පක්ෂවලටද දන්වමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *