හිස තෙල් ගෑමේ වැදගත්කම

හිස කෙස් ගැලවීම බහුලව දක්නට ලැබෙන තත්වයක් වන අතර, ශරීර අභ්‍යාන්තර හේතූ මෙන්ම, බාහිරින් හිස් කබලේ නීරෝගීතාවය සදහා බලපාන හේතුන් ද මීට සෘජුවම දායක වේ.

සාමාන්‍යයෙන් හිසක, හිස කෙස් ලක්ෂ 01 ක් 01 ½ ක් පමණ පවතී. මින් දිනකට හිස කෙස් 01-100 දක්වා ගැලවී යෑම ස්වභාවිකය. නමුත්, විවිධ හේතූන් මත මෙම ප්‍රමාණය ද ඉක්මවා යන පරිදි හිස කෙස් ගැලවී යෑම ප්‍රතිකාර ලැබිය යුතු තත්වයකි.

ලංකාව සමකයට ආසන්නයේ පිහිටා ඇති ඝර්ම කලාපීය රටක් නිසා සමට හා හිස කෙස් වලට සූර්ය රශ්මියෙන් ඇති වන බල පෑම වැඩිය. අධික හිරු රශ්මියට ලක් වීම නිසා හිස් කබලේ ඇති සම වියළි, දුර්වල වූ විට කේෂ මූලයන්ට හානී සිදු වීම සිදු වේ. එමෙන්ම, නිතර උණු වතුර හෝ අධික ශීත ජලය ස්නානය හා රාත්‍රී කාලයේදී ජල ස්නානය කිරීම මගින් ද හිස් කබලේ සම දුර්වල වේ.

සෑම හිස කෙස් ගසක්ම තෙල් ස්‍රාවය කරන ස්නේහ ස්‍රාවී ග්‍රන්ථියක් හා සම්බන්ධව නිර්මාණය වී ඇත. මෙම ග්‍රන්ථියෙන් නිපදවන තෙල් කොටස් මගින් හිස කෙස් වලට ලිහිසි ස්වභාවයක් ලැබේ. එසේම සෑම හිස කෙස් මූලයකටම, ඉතා හොද රුධිර සැපයුමක් පවතින අතර, කේෂ මූලය පෝෂණය වන්නේ මෙමඟිනි.

වර්ථමානයේදී හිස කෙස් අලංකරණය සඳහා “හෙයාර් ජෙල්” වර්ග, “හෙයාර් ක්‍රීම්” වර්ග භාවිතා කිරීම වැඩි වී ඇත. එසේම, හිස කෙස් “ඩයි” කිරීම ද සුලභව සිදු කෙරේ. මේවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් හිසේ සමේ ඇති ස්නේහ ස්‍රාවී ග්‍රන්ථි වලට හානි සිදු කරන අතර, එමගින් හිස් කබලේ වියළි ස්වභාවයක් ඇති වේ. හිස් කබලේ සමේ අපිචර්මය අධිකව වියළි ගොස් දුර්වල වූ විට හිස් හොරි තත්වය පවා ඇති විය හැකි අතර, හිස කෙස් ගැලවීමටත්, පැසීමටත් සෘජුවම බලපෑම් සිදු කරයි.

අස්ථි ධාතුවේ නීරෝගී පැවැත්ම සදහා බලපාන පෝෂණ කොටස්ම, නීරෝගී කේශ වර්ධනය සදහා ද බලපෑම් කරයි. කෙස් වල මනා වර්ධනයට ප්‍රෝටීන අඩංගු ආහාරත්, කැල්සියම්, යකඩ, විටමින් C , විටමින් E, සින්ක්, විටමින් B2, B6, B7 වැනි ක්ෂුද්‍ර පෝෂක ද සහිත ආහාර නිරතුරුවම ලබා ගැනීම ඉතා වැදගත්ය. සමබර ආහාර වේලකින් තොරව, කෘත්‍රීම ආහාර පාන සහිත ජීවන රටාවක් නිසාද හිස කෙස් දුර්වල වීම සිදු වේ.

හිස කෙස් ගසක කේෂ මූලය දිගින් 0.24 mm පමණ වන ඉතා සියුම් කොටසකි. කේශ මූලයේ පහතින් ඇති කොටස ඉදිමී බල්බයක් වැනි ව්‍යුහයක් ඝණ වීම මගින් කේශ වර්ධනය සිදු වේ. කේශ මූලයන්ට හොද රුධිර සැපයුමක් ඇති අතර, නිසි ලෙස රුධිර සම්පාදනයක් නොලැබීම මගින් කෙස් මුල් දුර්වල වී, අකලට කෙස් පැලී යෑම සිදු වේ.

( මධ්‍යම පළාත් ආයුර්වෙිද දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත “මැදරට ආසිරි” ත්‍රෛයි මාසික සගරාවේ තෙලස්වන වෙළුම, 2022  කලාපයේ පළකරන ලද ලිපියකි. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *