Microsoft Imagine Cup 2023 තරගාවලියේ ආසියානු අවසන් වටය නියෝජනය කළ ශ්‍රී ලාංකික කණ්ඩායම් මෙරට ඇමරිකානු තානාපතිනිය හමුවෙයි

2023 ජූනි 26, කොළඹ: ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජූලි ජේ. චන්ග් මහත්මිය පසුගියදා Microsoft කාර්යාලයේදී Microsoft Imagine Cup 2023  තරගාවලියේ ආසියානු අවසන් වටයට සුදුසුකම් ලැබූ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන ශ්‍රී ලාංකික කණ්ඩායම් හමු වූවා ය.

‘Microsoft Imagine Cup යනු Earth, Education, Health සහ Lifestyle යන කාණ්ඩ යටතේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවතින කාලීන ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලබාදෙන සුවිශේෂී තරගාවලියකි. මෙවර එම තරගාවලියේ කලාපීය අවසන් වටයට ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන කණ්ඩායම් ඇතුළුව ලොව විවිධ රටවල් නියෝජනය කළ කණ්ඩායම් 48 ක් සුදුසුකම් ලබා තිබිණි. මෙම කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් හමුවීමට තමන් ඉතාමත් උනන්දුවෙන් පසු වූ බව පැවසූ ඇමරිකානු තානාපතිනිය, සමාජය වඩාත් යහපත් තැනක් බවට පත්කිරීම සඳහා මෙම කණ්ඩායම්වල අදහස් මගින් ලැබෙන දායකත්වය අගය කළා ය.

Microsoft සමාගමේ සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාව – නව වෙළඳපොළවල්) Sook Hoon Cheah මහත්මිය සහ Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා විසින් ඇමරිකානු තානාපතිනිය පිළිගන්නා ලදී.  

Imagine Cup 2023 ජාත්‍යන්තර තරගාවලියේ ආසියානු අවසන් වටයට සුදුසුකම් ලැබූ ‘Team Sipsara’ සහ ‘The Green Tycoon’ යන කණ්ඩායම් සිය ව්‍යාපෘති ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සමග

මෙම තරගාවලියේ Education සහ Earth යන කාණ්ඩ යටතේ තරග වැදුණු මෙම ශ්‍රී ලාංකික කණ්ඩායම් දෙක, තාක්‍ෂණික නවෝත්පාදනයේ සීමාවන් අලුතින් අර්ථකථනය කරන ආකාරයේ නිර්මාණශීලීත්වයක් ප්‍රදර්ශනය කිරීමට සමත් විය. මෙහිදී ‘Team Sipsara’ කණ්ඩායම ඩවුන්සින්ඩ්‍රෝම් තත්ත්වය සහිත දරුවන්ගේ කුසලතා පරීක්ෂා කරමින් එම කුසලතා වැඩිදියුණු කිරීමට උපකාරී වන, අන්තර්ජාලය පදනම් කරගත් යෙදුමක් නිර්මාණය කර තිබූ අතර, ‘The Green Tycoon’ විමෝචන ඉලක්ක ළඟා කරගැනීමට, කාබන් බදු අඩුකර ගැනීමට සහ වඩාත් පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීමට දිරිගන්වන විකල්ප තිරසාර විසඳුමක් වූ ‘CarboMeter’ නිර්මාණය කර තිබිණි.

මෙම හමුවේදී අදාළ කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවෝ, තමන් Microsoft Imagine Cup 2023 තරගාවලියට ඉදිරිපත් කළ නිර්මාණ ඇමරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සහ Microsoft සමාගමේ සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාව -නව වෙළඳපොළවල්) Sook Hoon Cheah මහත්මිය ඉදිරියේ ප්‍රදර්ශනය කළ අතර, තරගාවලිය තුළදී තමන් ලැබූ අත්දැකීම්ද විස්තර කළහ. තමන්ට පෞද්ගලිකව බෙහෙවින් සමීප ගැටලු ඔස්සේ මෙම නිර්මාණ සිදුකළ බව පැවසූ ඔවුහු, මෙම තරගාවලිය තමන් සවිබල ගැන්වූ බවත්, AI තාක්ෂණයේ මහිමයෙන් ප්‍රයෝජන ලබමින් නවෝත්පාදනයේ නව මානයක් වෙත පිවිසීමට තමන්ට දොරටු විවර කර දුන් බවත් කියා සිටියහ.

“ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙම කණ්ඩායම් දෙක මුණගැසීම මට මහත් භාග්‍ය‍යක්. ඔවුන් තම හැකියාවන් තුළින් රටට විශාල පිළිගැනීමක් අත්කර දීමට සමත් වී තිබෙනවා. නවෝත්පාදනය යනු පරිවර්තනීය වෙනසකම් ඇතිකිරීමට තුඩුදෙන බලවේගයක්. එය ශ්‍රී ලංකාවේ තිරසාර සහ සෞභාග්‍යමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ උත්සාහය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටුකරනවා. Microsoft Imagine Cup වැනි වැඩසටහන් ඔස්සේ තාක්ෂණික විශිෂ්ටත්වය වර්ධනය කිරීමට Microsoft දරන උත්සාහය ප්‍රශංසනීයයි. එය ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමට හැකියාව පවතින බව අපට පෙන්වා දෙනවා.” ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ජූලි චන්ග් මහත්මිය පැවසුවා ය.

“මේ ආකාරයට ඇමරිකානු තානාපතිනිය හමුවීමටත්, නවීනතම තාක්ෂණය භාවිතා කරමින් මෙවැනි ව්‍යාපෘති නිර්මාණය කිරීමට තමන් යොමු වූ ආකාරය පිළිබඳව අදහස් දැක්වීමටත් හැකි වීම, මෙම කණ්ඩායම්වලට සාමාජික සාමාජිකාවන්ට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. සැබෑ ලෝකයේ පවතින ගැටලු විසඳීමට නවෝත්පාදන භාවිතා කිරීම සැමට ආදර්ශයක් වන ක්‍රියාවක් වන අතරම, බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කිරීමට එයට හැකියාව තිබෙනවා. එමෙන්ම මෙවැනි නව නිර්මාණ සිදුකිරීම තුළින් මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙන්වා දී ඇත්තේ, ඩිජිටල් පරිවර්තනය කඩිනම් කරමින් ගෝලීය ඩිජිටල් ආර්ථිකයට සක්‍රීය ලෙස දායක වීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බවයි.” Microsoft සමාගමේ සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාව -නව වෙළඳපොළවල්) Sook Hoon Cheah මහත්මිය පැවසුවා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *