මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවේවි…

  • මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවේවි…
  • ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළායන්නේ නැහැ…
  • 77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 දි විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ…
  • ගෙවල් ගිනි තියලා මිනී මරලා අපිව වට්ටන්න බැහැ….
  • එදා මගේ පියාව රැක ගත්තා වගේ මිනුවන්ගොඩ මිනිස්සු මාවත් රැක ගනිවි කියලා මම විශ්වාස කරනවා. (ඇමති ප්‍රසන්න රණතුංග)
  • 75 වසරක ශාපය කියන එක මුලාවක්. පසුගිය වසර 75 තුළ මේ රට සංවර්ධනය කිරීමේ ගෞරවය අඩු වැඩි වශයෙන් සෑම රජයකටම හිමිවනවා…
  • අපේ මේ දේශපාලන ධාරාව කවදාවත් මකා දමන්නට බැහැ…
  • ඊලග ජනාධිපතිවරයා බිහි කරන්නෙත්, ආණ්ඩුව හදන්නේ අපේ පක්ෂය ප්‍රමුඛ සංධානයයි… (වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ )
  • අභියෝග වලට බයේ හැංගුනොත් කුමන්ත්‍රණකරුවන්ට අවස්ථාව හිමිවනවා…
  • දේශපාලන ස්ථාවරය සහ ආර්ථික ස්ථාවරය අද පාර්ලිමේන්තුව තුළත් රට තුළත් ඇති වී තිබෙනවා….
  • වත්මන් රජය ගත්ත තීන්දු තීරණවල ප්‍රතිඵල ලැබෙන්න තව මාස 6ක් 7ක් පමණ යනවා…
  • අවම වශයෙන් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙනවා…
  • අස්වැසුම කාගෙවත් ප්‍රතිලාභ කපන්න හදපු වැඩසටහනක් නෙමෙයි…
  • සැප්තැම්බර් මාසය වන විට රට බංකොලොත්භාවයෙන් මිදෙනවා. (මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ..)
  • අරගලයෙන් එළියට ආවේ ඒ පීඩනයයි…
  • ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගෙ නිවස ගිනි තිබ්බ කෙනා මිනුවන්ගොඩ ජේවිපි රැස්වීමේ කතා කරනවා….
  • අරගලයේ හිටපු රැට්ටා ඇතුළු පිරිසගේ ගිණුම් පරීක්ෂා කරනවා…
  • රටට විකල්පය ජේවිපි එක නෙමෙයි…
  • අනුර කුමාර 75 වසරක ශාපය ගැන කතා කරන්නේ එයාලා මුකුත්ම කරලා නැහැ වගේ…. (පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ.)

මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෝ තමන් අභියෝග හමුවේ පළා නොයන බවත් ඔහු සදහන් ‍‍කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බළ මණ්ඩලයට සහභාගී වෙමිනි.

එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙසේද පැවසීය.

පසුගිය වසරේ මැයි 9 වනදා අපි ආපසු අභියෝග ගැටළු වලට මුහුණ දීලා මේක සාර්ථක කර ගන්නේ කොහොමද කියලා කල්පනා කළා. මගේ පියා වන රෙජි රණතුංග මැතිතුමාට ශක්තියක් වුණු සියලු දෙනාම මෙම අවස්ථාවට සභභාගී වනවා. 77 දීත් රෙජි මහතාගේ ගෙදර ගිනි තිබ්බා. එතුමා ඉතාම ක්‍රමානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න කටයුතු කලා. එදා එතුමාගේ පළමු බල මණ්ඩලයට 13 දෙනයි ආවේ. ඒ වුණත් එතුමා ඉතාම ශක්තිමත්ව දේශපාලන ගමන ආරම්භ කළා. මිනුවන්ගොඩ එදා එජාපයට බර ආසනයක්. රෙජී රණතුංග මහතා එදා මිනුවන්ගොඩ ආසනය දිනාගෙන දාපු දේශපාලන අත්තිවාරම උඩ තමයි අපි දේශපාලනය කරන්නේ.

පසුගිය අවුරුද්දේ මැයි 9 වනදා කුඩුකාරයෝ අරගලය කියාගෙන කරපු අරගලය ඉතාම සැලසුම් ගතව කරපු දෙයක්. ලංකාවෙම  නිවාස 300 ක් ගිනි තිබ්බා. වැඩිම අලාභහානි කලේ ගම්පහ දිස්ත්‍රික්කයට හා මිනුවන්ගොඩ ආසනයටයි. අපේ ආසනයේ නිවාස 13ක් ගිනි තිබ්බා. පොහොට්ටුව රට පුරා ගිහිල්ලා පාක්ෂිකයෝ එකතු කරගෙන එක්ව තරග කරනවාද වෙනම තරග කරනවද කියලා සාකච්ඡා කරා. ඒ  වෙලාවෙදි මිනුවන්ගොඩ අපි තමයි කිවුවේ වෙනම තරග කරමු කියලා. මම ඒක මහින්ද මහත්තයගේ මුහුණටත් කිවුවා.

පළාත් පාලන මැතිවරණයට අපි වෙනම තරග කළා. අපි දිනුවා. ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමු කියලා  යෝජනා කලේ මිනුවන්ගොඩ ආසනයේ අපි. පසුව මුළු රටේම එම මතවාදය හදලා ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද තුන් ලක්ෂ හැට පන් දහසකින් ගෝඨාභය මහතා ගම්පහින් දිනෙව්වා. පසුව පැවති මහ මැතිවරණයේදී අපි මන්ත්‍රි ආසන 13ක් දිනුවා. ගම්පහ අපිට විශාල සංවිධාන ශක්තියක් තිබුණා. එම ශක්තිය කඩන්නයි අරගලකරුවන්ට අවශ්‍ය වුණේ.

අරගලයෙන් පසුව මම නැවත මිනුවන්ගොඩට ඇවිත් ගිනි තියපු කාර්යාලය ආයේ හදාගෙන වැඩ ටික පටන් ගත්තා. ගෙවල් ගිනි තියලා මිනී මරලා අපිව වට්ටන්න බැහැ. හොද සාර්ථක මිනිහෙක් වෙන්නේ වැටි වැටි නැගිටින අයයි. ඔබතුමන්ලා මට ශක්තියක්. එදා මගේ පියාගේ නිවස ගිනි තිබ්බ වෙලේ ඔබතුමාලා එතුමා රැක ගත්තා වගේ මිනුවන්ගොඩ ඔබ මාවත් රැක ගනිවි කියලා මම විශ්වාස කරනවා. ඔබ මට හයියක්. ඔබේ තීන්දු මත මම ගනිපු තීන්දුවක් කවදාවත් වැරදුණේ නැහැ. ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට මම සූදානම් . ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපිත් අභියෝග හමුවේ පැනල යන්නේ නැහැ.

77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 දි විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් ඒවට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි කියලා මම කියනවා. අපි දැන් ගේමට බැහැලා ඉවරයි..

මම තරම් රනිල් වික්‍රමසිංහ මහතාට බැනපු කෙනෙක් නැති තරම්. අරගලයත් සමග මහින්ද මහතා ප්‍රමුඛ ආන්ඩුව ඉවත් වුණා. පසුව ගෝඨාභය ජනාධිපතිතුමා ඉවත් වුණා. ඊට පසුව වගකීම භාරගෙන කටයුතු කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. පක්ෂය දෙකට දාලා රට එකට දාලා රනිල් මහතාට අපි සහය දෙන්න ඉදිරිපත් වුණා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරගන්න එදා අපි රනිල් ජනාධිපතිතුමාට සහය ලබා දීම ගැන දැන් අපි සතුටු වෙනවා.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි අභියෝග වලට බයේ පැනලා දුවන්නේ නැහැ. අද ගෑස් පෝලිම් නැහැ. තෙල් පෝලිම් නැහැ. විදුලිය තියෙනවා. ඩොලරය ශක්තිමත් වෙනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු වෙමින් තිබෙනවා. අපේ පක්ෂයේ මිනි මරපු අය නැහැ. අත්වල ලේ ගැවිලා නැහැ. අයි.ඩී. උස්සලා නැහැ. අපේ පක්ෂය මිනී මරපු නැති  පිරිසිදු පක්ෂයක් යැයිද පැවසීය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ පැවසීය.

මට මතකයි 2015 දි මහින්ද මහත්තා පරාජය වුණු වෙලේ මහින්ද සුලග ක්‍රියාත්මක කරන්න ප්‍රසන්න රණතුංග ඇමතිතුමා විශාල ශක්තියක් ලබා දුන්නා. රණතුංගලා ගම්පහ මිනුවන්ගොඩ දේශපාලනය වර්ණවත් කරන්න කටයුතු කළ පිරිසක්. 1986 දි මගේ පියා අක්මීමන අතුරු මැතිවරණයට ඉදිරිපත් වුණු වෙලේ රෙජි රණතුංග මහතා අපේ ගෙදර ඇවිත් මාසයක් නතර වෙලා අපිට ශක්තියක් වුණා. රට තුළ ආර්ථික අර්බුදයක් ඇති වෙන්න විවිධ හේතු ඉවහල් වුණා. 2019 පාස්කු ප්‍රහාරය සිදු වුණා. 2020 බලයට ආපු අපේ රජය අතිනුත් යම් යම් වැරදි සිදු වුණා.

අපේ ගෙවල් ගිනි තියපු ජෙවිපි එක 75 වසරක ශාපය ගැන කතා කරනවා. පසුගිය වසර 75 තුළ මේ රට සංවර්ධනය කිරීමේ ගෞරවය අඩු වැඩි වශයෙන් සෑම රජයකටම හිමිවනවා. ඒ නිසා 75 වසරක ශාපය කියන එක මුලාවක්.

අපේ පක්ෂය ඉතාම ශක්තිමත් පක්ෂයක්. අපේ ගමන හරියට වතුර යට ඔබලා තියන රබර් බෝලයක් වගෙයි. කොයි වගේ හරි උඩටම එනවා. ඒ නිසා මම කියනවා ඊලග ජනාධිපතිවරයා බිහි කරන්නෙත්, ආණ්ඩුව හදන්නේ අපේ පක්ෂය ප්‍රමුඛ සංධානයයි. අපේ මේ දේශපාලන ධාරාව කවදාවත් මකා දමන්නට බැහැ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේ පැවසීය.

අභියෝග වලට බයේ හැංගුනොත් කුමන්ත්‍රණකරුවන්ට අවස්ථාව හිමිවනවා. මාස 6-7 කට කලින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙලා රට ලේ විලක් කලා. ජනතාවගේ දුක තමන්ගේ සතුට බවට පත් කර ගත්තා. එවැනි දේශපාලනයක් තමයි රයේ තිබුණේ. අපේ රජය ඇතුළු පැවති රජයන්වල ප්‍රතිපත්තිමය දුර්වලතා නිසා 2020 න් පසුව අපි බරපතල අභියෝගවලට මුහුණ දුන්නා. දේශපාලන ස්ථාවරය සහ ආර්ථික ස්ථාවරය අද පාර්ලිමේන්තුව තුළත් රට තුළත් ඇති වී තිබෙනවා. කොවිඩ් වසංගතයට පෙර රට තුළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. සංචාරක කර්මාන්තය කඩා වැටුණා.

වත්මන් රජය ගත්ත තීන්දු තීරණවල ප්‍රතිඵල ලැබෙන්න තව මාස 6ක් 7ක් පමණ යනවා. දැන් රට තුළ තෙල් තිබෙනවා. ගෑස් තිබෙනවා. පොහොර තිබෙනවා. විදුලිය තියෙනවා. බඩු මිල අඩු වෙනවා. වැඩි වුණු සැනින් අඩු වෙන්නේ නැහැ. නමුත් සහන ලැබෙමින් තිබෙනවා. ලංකාව දැන් කඩා වැටුණු තත්වයෙන් දැන් ඉහළට එමින් තිබෙනවා. අද රට තුළ ශක්තිමත් මූල්‍ය විනයක් ඇති වි තිබෙනවා. අපි දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම කරන විට ජේවිපි එකයි, සජබයයි, දැන් කැඩිලා ගිය පිරිසයි විශාල බිල්ලෝ මැවුවා. රටේ ජනතාවත් ඒවා විශ්වාස කළා. විපක්ෂයේ එම බොරු බිද දමන්නත්, ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගන්නත් රජයක් ලෙස අපිට පුළුවන් වුණා. මේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කිරීම නිසා සැප්තැම්බර් මාසය වන විට බංකොලොත්භාවයෙන් මිදෙන්න අපට පුළුවන් වෙනවා.

තමන්ට නිසි වැඩපිළිවෙලක් නැති නිසා ජේවිපි එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා කරන්න ගියේ නැහැ. හැබැයි පාරවල් ගානේ හන්දි ගානේ රට හදන විදිහ ගැන නම් කතා කරනවා. රටේ සහන ගන්න අයගෙන් 30%ක් පමණ ඒවා ගන්නේ නුසුදුසු අය කියලා සමීක්ෂණ වලින් හෙළිවුණා. ඒ නිසා සහන ලැබිය යුතු අයටම ලබා දෙන්න රජය අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. එම වැඩසටහනට රුපියල් බිලියන 206 ක් අපි වෙන් කලා. රජයේ මෙම වැඩපිළිවෙලටත් විවිධ වෘත්තිය සමිති බාධා සිදු කළා.

අපිට උද්ධමනය අඩු කර ගන්න ඕනි. කර්මාන්ත නැවත පටන් ගන්න ඕනි. ජන ජීවිතය යථා තත්වයට පත් කර ගන්න ඕනි. ඒ නිසා අපිට තීන්දුවක් ගන්න වුණාථ වෘත්තීය සමිති කියන විදිහට වැඩ කරනවද? නැත්නම් විකල්ප ක්‍රමයක් භාවිතා කරනවද කියලා. සුබසාධන දීමනාව ලැබිය යුතු අයට නොලැබි ඇත්නම් ඒ අයට එය ලබා දෙන්න කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. නොලැබුණු අයගෙන් අභියාචනා කැදෙව්වේ ඒ අනුවයි. අපේ රටේ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 16 කට වඩා ඉන්නවා. නමුත් සමීක්ෂණයට ඉදිරිපත් වෙලා තිබුණේ දොලොස් ලක්ෂ අසූ හත් දහස් පණහයි. ඉල්ලුම් කරපු අයගෙන් 70% ක් ප්‍රතිලාභ ගන්න තේරිලා තිබෙනවා. අවම වශයෙන් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දෙනවා. සමෘද්ධි ප්‍රතිලාභීන් එක්ක බැලුවම අලුතින් ප්‍රතිලාභීන් ලක්ෂ 11 ක් අස්වැසුම යටතේ සුභසාධන ප්‍රතිලාභ ලබනවා. අස්වැසුම කාගෙවත් ප්‍රතිලාභ කපන්න හදපු වැඩසටහනක් නෙමෙයි. නමුත් ජෙවිපි එකයි සජබයි හදන්නේ ජනතාව පාරට බස්සන්න.

දැනට සමෘද්ධි ප්‍රතිලාභීන් විදිහට ඉන්න අස්වැසුමට ඉල්ලුම් නොකරපු අය ගැන අයත් සමීක්ෂණ කරන්න කියලා ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා. අගෝස්තු මාසයේදී නැවත අස්වැසුමට ඉල්ලුම් කරන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා කිසිම විටක අස්වැසුම වැඩපිළිවෙල ගැන සෘණාත්මක හැගීමක් ඇති කරගන්න එපා යැයිද පැවසීය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ පැවසීය.

2019 ජනාධිපති ලෙස පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 අගෝස්තු මාසය වන තුරු කොවිඩ් වසංගතයත් හොදින් කළමණාකරණය කර ගනිමින් රට පාලනය කළා. ඒ පැහැදීම නිසාම ජනතාව මහ මැතිවරණයේදී 2/3 ක බලයක් අපිට ලබා දුන්නා.

කොවිඩ් 19 වසංගතය සහ ලෝක ආර්ථික ආර්බුදය නිසා ඇති වුණු ප්‍රශ්න කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා අන්තවාදීන් එන්.ජී.ඕ. නඩ ක්‍රියාත්මක වෙලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෙදර යැවුවා. අපි පිළිගන්න ඕනි මිනිස්සු දැඩි පීඩනයක සිටියා කියලා. අරගලයෙන් එළියට ආවේ ඒ පීඩනයයි. නමුත් ජේවිපී එක පෙරටුගාමීන් තම දේශපාලන න්‍යාය පත්‍ර අරගලය ඇතුලේ ක්‍රියාත්මක කරා. අද ඒ බව එළි වෙමින් තිබෙනවා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගෙ නිවස ගිනි තිබ්බ කෙනා මිනුවන්ගොඩ ජේවිපි රැස්වීමේ කතා කරනවා. අරගලයේ හිටපු හාමුදුරුවෝ නමකගේ ගිණුමට රුපියල් කෝටි 12 ක් බැර වෙලා. තොරතුරු අනුව ඒ මුදල් ලැබි තිබෙන්නේ ගෝතමාලාවෙන්. ගෝතමාලාව තමයි ලෝකයේ වැඩිපුරම මත්ද්‍රව්‍ය භාවිතා කරන රට. එහෙම රටකින් තමයි ගෝඨාභය මහතා එළවන්න සල්ලි දෙන්නේ. අරගලයේ හිටපු රැට්ටා ඇතුළු පිරිසගේ ගිණුම් පරීක්ෂා කරනවා. තව තොරතුරු එළි වේවි. අපි ජනවරමකින් පත් වුනු රජයක්. නමුත් මෙම අරගලය නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත් ගෙදර යන්න සිදු වුනා. මෙහෙම දෙයක් ලංකා දේශපාලනය ඉතිහාසයේ සිදු වුණු පළමු අවස්ථාව මෙයයි.

රටට විකල්පය ජේවිපි එක නෙමෙයි. මිනිස්සු අද ඒ බව තේරුම් අරගෙන ඉන්නවා. අනුර කුමාර කියන්නේ ෆේස් බුක් එකේ ජනාධිපති. රටට බොරු කියන්නේ මොකටද? ඇත්ත කියන්න ඕනි. තේ කඩයක්වත් කරපු නැති ජේවිපි එක රටක් පාලනය කරන්නේ කොහොමද? අනුර කුමාර 75 වසරක ශාපය ගැන කතා කරන්නේ එයාලා මුකුත්ම කරලා නැහැ වගේ. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ අනුර කුමාරලත් ඇමතිකම් කරා. ඇමතිකම් දුන්නේ වසර 5 කටයි. නමුත් මගදි දාලා ගියා. එතුමා ඇමතිකම් කරපු විදිහ ගැන මම කියන්නේ නැහැ. ජේවිපි එකට ජාත්‍යන්තරය සමග කටයුතු කරන්න දැනුමක් නැහැ. ජේවිපි එක කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය පරද්දන්න අනුර කුමාර සැලසුම් හැදුවා. ඒ යුද්ධය අවසානම කාලයේ. එදා අයවැය පැරදුනා නම් උතුරේ යුද්ධය තවම තියෙනවා. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ගේ පියා සහ මාමා ජේවිපී එකේ ජාතික ලැයිස්තුවේ හිටියා. මේවා නිකම් වෙන දේවල් නෙමෙයි.

අපි රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරා. නමුත් මේ මොහොතේ අභියෝගය භාරගෙන ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වුණේ එතුමට විතරයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කුකලෙන් අදින්නේ නැහැ. මම වගකීමේන කියනවා ගෝඨාභය ජනාධිපතිතුමාට වුණු දේ වත්මන් ජනාධිපතිවරයාට වෙන්න අපි ඉඩ තියන්නේ නැතැයිද ඔහු පැවසීය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටි ආරච්චි මහතාද මෙහිදී අදහස් දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *