ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට නිවැරදි සංඛ්‍යා ලේඛණ අවශ්‍ය යි…

• ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට නිවැරදි සංඛ්‍යා ලේඛණ අවශ්‍ය යි...

• අස්වැසුම ප්‍රතිලාභය අඩු ආදායම්ලාභී ජනතාවගේ යහපතටයි…
• ආර්ථිකය ශක්තිමත් කිරීමේ තීරණ ගැනීමේ දී, රජය අඩු ආදායම්ලාභී ජනතාව නොසලකා හරින්නේ නැහැ…
• බිත්තර රටින් ගෙන්වීමට සිදුවීම අවාසනාවක්…
• අපිට තියෙන්නෙ පිංවන්ත මහපොළොවක්…

  • අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ 2024.01.17 දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කුකුළු බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාහැරීමට නියමිතය. චීනයේ යුනාන් පළාතේ සංචාරයේදී ආග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව බිත්තර රැක්කවීමේ යන්ත්‍ර සීයක් චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් අතර එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් මෙලෙස දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

මහජන චීනයෙන් අපිට ලැබුණු මෙම යන්ත්‍රවලින් සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රයෝජනය ගැනීමේ අවස්ථාව ලැබෙන සේ බෙදාහරිනවා. මධ්‍යම පළාතේ සෑම දිස්ත්‍රික්කයකම මේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සංවර්ධන කමිටුවේ සහාය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. දිසාපතිතුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු සැමදෙනාම මෙයට සහාය දක්වන්න.

අස්වැසුම වැඩසටහන සඳහා වූ තේරීම් බොහෝ දුරට අවසන්. පළවෙනි වටයේ අභියාචන විභාගය මේ වන විට හමාර කරමින් පවතිනවා. එයට සමාන්තරව අයවැයෙන් 2024 වසර වෙනුවෙන් ප්‍රකාශයට පත්කලා මෙන් එයට ගෙවන ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කරනවා. ඒ අපේ අඩු ආදායම්ලාභී ජනතාවගේ යහපත සඳහා. අඩු ආදායම්ලාභී ජනතාවට මුහුණ දෙන්න තිබෙන ජීවිත ගමනේ අමාරුව තේරුම් ගනිමින් ආර්ථිකය මෙහෙයවීමේ අවශ්‍යතාවය නිසා මෙවැනි තීරණ ගනු ලබනවා. අඩු ආදායම්ලාභී ජනතාවගේ ආරක්ෂාවට රජයක් ලෙස, මේ අමාරු කාලපරිච්ඡේදයේ ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට ඔබගේ සහයෝගය ඉල්ලා සිටිනවා.

රජයකට සංඛ්‍යා ලේඛණ අවශ්‍ය වන්නේ කිසිවෙකුට දඩුවම්කරන්න නෙවෙයි. නිවැරදි සංඛ්‍යා ලේඛන සකස් කරගෙන, ආර්ථිකය නිවැරදිව ශක්තිමත් කර ගැනීමේ ඕනෑකම සඳහායි. රට ගැන සිතා ගම්වල සිටින සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහාය මේ අවස්ථාවේ අවශ්‍යයි. අමාරුවෙන්ම ජීවත්වෙන මිනිස්සුන්ට අත දෙන්න ඕනෑ කියන එක රාජ්‍ය සේවයේ ගැඹුරු වගකීමක් ලෙස කල්පනා කළ යුතුයි. එවැනි රාජ්‍ය සේවාවක් ඉටු වුණොත් ජනතාවගේ සහයෝගය සහ සහභාගිත්වය විවිධ ක්ෂේත්‍ර සඳහා ළගා කරගන්න පුළුවන් වෙනවා. ගම් නියම්ගම්වල සිටින අපේ ක්‍ෂේත්‍ර නිලධාරීන් ජනතාවගේ ඕනෑම ප්‍රශ්නයකට මැදිහත් වෙනවා. ගංවතුරක් ආවත්,රෑට කුණාටුවක් ආවත්, සුළි සුළඟකට අහුවෙලා නිවාස විනාශ වුණත් එතනට පළමුවෙන් යන්නේ ඔබයි. රාජකාරී නියෝගයක් තිබුණත් නැතත් එය රාජකාරියක් කරන් ගමන් කරන රාජ්‍ය පරිපාලනයේ සෑම ක්ෂේත්‍රයක්ම ගම දක්වා විහිදී තිබෙනවා. මේ අවස්ථාවේ ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න සහාය වෙන්න.

අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍ර ද එලෙස සාර්ථක කරගන්න අපි අත්වැල් බැඳගෙන වැඩ කරමු. අපි විදේශයෙන් බිත්තර ගේනවා. එය එක්තරා අවාසනාවන්ත ප්‍රවෘත්තියක්. පාසලේදී සෞඛ්‍ය වැඩසටහන්වලදී පෝෂ්‍යදායි ආහාරයක් ලෙස බිත්තරයක් දෙන්නයි නිර්දේශ කරනවා. ඒ අතින් පසුගාමී තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවූ නිසා බිත්තර විදේශ රටින් ගේන්න සිද්ධ වුණා.

අපට තියෙන්නේ පින්වන්ත මහපොළොවක්. මේ පින්වන්ත මහ පොළොවේ වගා කරන ඕනෑම දෙයක් ඵල දරනවා. ඒ සදහා වූ ක්‍රමවත් ඉලක්ක ගත වැඩපිළිවෙළ 2024 දී ඔබේ සහයෝගයෙන් සාර්ථක කරගන්න හැකි වෙයි. අපේ රටේ දැනට ප්‍රයෝජනයට නොගන්නා රජය සතු ඉඩම්, වැවිලි කර්මාන්තය සඳහා ඵලදායි ලෙස පරිවර්ථනය කිරීමට සැලසුම් අවශ්‍ය යි. කන්ද උඩරට ගැන අයවැය ලේඛනයෙන් විශේෂයෙන් සඳහන් කළා. සුදු ආණ්ඩුව පත්වෙලා අපේ ගම්වල ඉඩම් තමන්ගේ බව ප්‍රකාශයට පත් කළා. ඒ අයට මේ රටේ අයිතියක් තිබුණේ නැහැ. විදේශිකයන් ලෙස පැමිණ අපව යටපත් කරගෙන අපේ ගම්බිම්වල ජනතාව වගා කළ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන අපට ඉඩම් අහිමි කළා. ඒ ප්‍රශ්නය අදත් තිබෙනවා.

වගා කළ හැකි සෑම ඉඩමක් හරහාම ග්‍රාමීයව අලුත් පරම්පරාවකට ව්‍යවසායකයින් ලෙස අවතීර්ණ වීමට ඉඩකඩ සැලසිය යුතුයි. අපේ මහන්සිය විශ්වාසය සහ ඕනෑකම දියුණුවට බලපානවා. ලෝකයේ හොඳම කුරුදු නිෂ්පාදනය කරන රට අපේ රටයි. ලෝකය අපෙන් කුරුඳු ඉල්ලා සිටිනවා. මෙවැනි දේ ලොවට ගෙනයාමට ප්‍රාදේශීය කාර්යාල හරහා විශේෂ උනන්දුවක් දක්වයි කියලා මම විශ්වාස කරනවා.

නොයෙක් දෙනා විවිධ අනාවැකි කිව්වාත්, පහුගිය අවුරුද්දේ අහරින් රට ස්වයංපෝෂිත කරන්න හැකි වුණා. ඊට වැඩි දායකත්වයක් ලබා දුන්නේ ගම්බද ජනතාවයි. මේ වැදගත් අවස්ථාවේ ඔබ අප අත්වැල් බැඳගෙන ග්‍රාමිය ආර්ථිකය නංවාලමු.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති හා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ, ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.පී.යූ ජයරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) එෆ්. ආර්. එම් රියාල්දීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *